ජූනි 21 වැනිදාට යෙදී ඇති 9 වැනි ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව සංවිධාන කළ යෝගා වැඩසටහනක් පසුගියදා නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණි. අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන, විදේශ කටයුතු ඇමැති, නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි, දේශීය ආයුර්වේද රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි, අධ්‍යාපන රාජ්‍ය ඇමැති අරවින්ද් කුමාර්, උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේන් රාඝවන් සහ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහත්වරු ඇතුළු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ ආරාධිත අමුත්තන් ඇතුළුව පාසල් සිසු සිසුවියන්, පොලිස් නිලධාරීන්, මෙරට සිටින ඉන්දීය ප්‍රජාව, දේශීය ආයුර්වේද වෛද්‍යවරු සහ යෝගා සම්බන්ධව උනන්දුවක් දක්වන දහසකට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති එම වැඩසටහන සංවිධාන කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දායකත්වය ද ලැබී තිබිණි.

රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනේ විහාරාධිපති ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ආගමික වතාවත්වලින් ආරම්භ වූ මිනිත්තු 20ක යෝගා සහ භාවනා වැඩසටහනට මෙරට යෝගා මධ්‍යස්ථාන 25ක නියෝජිත පිරිසක් ද එක් වී සිටියහ. මෙවර ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව ශ්‍රී ලංකාව පුරා පළාත් රැසක විවිධ වයස් කාණ්ඩයේ අය සහ වෘත්තිකයන් සහභාගි වන මෙවැනි වැඩසටහන්, දේශනා සහ වැඩමුළු 90කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

නිදහස් චතුරස්‍රයේ පැවැති යෝගා වැඩසටහනට අමතරව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ මස 21 වැනිදා කොළඹ වරාය කේන්ද්‍ර කරමින් ද තවත් එවැනි වැඩසටහනක් සංවිධාන කර ඇති අතර, මේ වසරේ ජාත්‍යන්තර යෝගා දිනය සමරනු ලබන්නේ මේ වන විට ඉන්දියාවේ සභාපතිත්වයෙන් යුතුව එරට පැවැත්වෙන ජී20 සමුළුවේ එක් පෘථිවියක්, එක් පවුලක් සහ එක් අනාගතයක් යන තේමාව යටතේය. වසර 2014දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල රැස්වීමේදී ඉන්දියාව විසින් කරනු ලැබූ යෝජනාවක් අනුව සෑම වසරකදීම ජූනි මස 21 වැනිදා ජාත්‍යන්තර යෝගා දිනය ලෙස නම් කර තිබේ. මේ යෝජනාවට ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් 170කට වැඩි සංඛ්‍යාවක සහයෝගය ලැබී තිබිණි.