නවතම පුවත්

ගෝලීය  භූ දේශපාලන හැසිරීම හමුවේ කලාපයේ භූමිකාව හැඩගැස්වීම සඳහා ආසියානු රාජ්‍යයන් හඬක් නැඟීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

 
සිංගප්පූරුවේ සහ වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරුන් ඇතුළු ලෝක නායකයන් හමුවේ ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ජපානයේ ටෝකියෝ නුවරදී අද(25) ආරම්භ වූ  “ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව (Nikkei Forum) අමතා සිය විශේෂ දේශනය සිදු කරමිනි. 
 
ජපානයේ “නික්කෙයි” (Nikkei)  පුවත්පත වාර්ෂිකව සංවිධානය කරන මෙම සමුළුව අද (25) සහ හෙට (26) ටෝකියෝ නුවරදී පැවැත්වේ.
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේ ආසියාවේ විවිධත්වය කලාපයේ ආර්ථික වර්ධනයට දායක වන සාධකයක් වන අතර  එය සැළකිය යුතු ගෝලීය බලවේගයක් බවයි. 
 
එසේම, ආසියා-පැසිෆික් කලාපය සහ ඉන්දියන් සාගරය අතර වෙනස පිළිබඳව පැහැදිළි කළ ජනාධිපතිවරයා  ආසියා-පැසිෆික් කලාපය ව්‍යුහගත කලාපීය සංවිධානයක් වන අතර ඉන්දියන් සාගර කලාපය නැගී එන අවකාශයක් බව ද සඳහන් කළේය.
 
1955 බැන්ඩුං නුවර පැවති ආසියානු අප්‍රිකානු සමුළුවේ දි  සහ ඉන්දියන් සාගරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය ඉන්දියන් සාගර කලාපය සාම කලාපයක් ලෙස නම් කර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා  ඉන්දු පැසිෆික් කලාපයේ  සබඳතා පෝෂණය කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම යළි තහවුරු  කර සිටියේය.
 
ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතාගේ "සාමය සඳහා වූ මූලධර්ම සහ සෞභාග්‍යය සඳහා වූ නීති" ප්‍රතිපත්තියට තම පූර්ණ සහාය පළ කරන බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා බොහෝ දෙනා ආසියාවේ ප්‍රගතියට සහ සංවර්ධනයට ප්‍රමුඛත්වය දීමට තීරණය කර ඇති බැවින්, ගෝලීය මහා බලවතුන්ගේ එදිරිවාදිකම්වලදී පක්ෂග්‍රාහීව කටයුතු කිරිමෙන් ආසියානු ජාතීන් වැළකී සිටින බව ද පැවසීය. 
 
චීනය සමඟ ස්ථාවර සබඳතාවක් ගොඩනගා ගැනීම සඳහා ජපානයේ  G7 සහයෝගීතා ප්‍රවේශයේ වැදගත්කම පිළිගත් ජනාධිපතිවරයා "නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික්" කලාපයක් සඳහා ජපානයේ දැක්මට සහාය පළ කළ අතර කලාපයේ සාමය සහ සහයෝගීතාව පෝෂණය කිරීම සඳහා ආසියානු ජාතීන් අතර විවෘත සංවාදයක් ද ඉල්ලා සිටියේය.
 
ගෝලීය ආර්ථිකය තුළ ආසියාවේ සුවිශේෂී කාර්යභාරය සහ කලාපය මුහුණ දෙන අභියෝග ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 
 
පෘථිවියේ භූමි ප්‍රමාණයෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් සහ බිලියන 4.75 ක් එනම් ගෝලීය ජනගහණයෙන් 60%ක්  සිටින ආසියාව ලොව විශාලතම ආර්ථිකය බවට පත්ව ඇත. 
 
 
ජපානය සහ දකුණු කොරියාව වැනි දියුණු ආර්ථිකයන්ගෙන් ලැබෙන දායකත්වයත් සමඟ චීනයේ දියුණුව සහ ඉන්දියාවේ වර්ධනය වන දේශීය ඉල්ලුම කලාපයේ දියුණුවට දායක වනු ඇති බව  ද ජනාධිපතිවරයා සඳහන් කළේය. 
 
"2050 දී ලෝකය" ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් වාර්තාව උපුටා දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ලෝකයේ හොඳම ආර්ථිකයන් 10 තුළ ආසියානු රටවල්,  ආධිපත්‍යය දරනු ඇතැයි පුරෝකථනය කර ඇති බවත් ඉන් හතරක් පළමු ස්ථාන දෙකේ සිටිනු ඇති බවත්ය.
 
මීට අමතරව, වියට්නාමය සහ පිලිපීනය ඉහළම රටවල් 20 අතර සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගනු ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ ආර්ථිකයන් සමඟ දැනටමත් සංසන්දනය කළ හැකි ආර්ථිකයක් සහිත ආසියාව, ගෝලීය ආර්ථික බල කේන්ද්‍රස්ථානය සහ වඩාත් ක්‍රියාශීලී කලාපය බවට පත්ව ඇති බව ද පැවසීය. 
 
මෙහිදී ආසියාවේ විවිධත්වය පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ධනවත් සහ දිළිඳු ආර්ථිකයන්, විශාල උප මහාද්වීපික බලවතුන් සහ කුඩා රාජ්‍යයන් ද ආසියාවට ඇතුළත් බවයි. මෙම විවිධත්වය ගෝලීය වශයෙන් කලාපයේ පිහිටීම ශක්තිමත් කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. 
කෙසේ වෙතත්, චීනයේ වේගවත් පිබිදීම සහ ජාත්‍යන්තරය තුළ චීනයේ භූමිකාව සම්බන්ධයෙන් එක්සත් ජනපදයට සහ චීනයට එකඟ වීමට නොහැකි වීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් සහ එදිරිවාදිකම් මතු වී ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.
 
පවතින අභියෝග පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන කරුණු දෙකක් අවධාරණය කළේය. එයින් පළමුවැන්න ලෙස, ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ මානව හිමිකම් පිළිබඳ ඇති ව්‍යාකූලත්වය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා දේශපාලන ක්‍රමවල වෙනස්කම් සහ මානව හිමිකම් පිළිබඳ එකිනෙකා තුළ තිබෙන අවබෝධයේ විවිධත්වය පිළිබඳව ද පැහැදිළි කළේය. 
 
මූලික දේශපාලන වටිනාකම් පිළිබඳ සම්මුතියකට එළැඹිමේදී ජාතීන්ට අයත් විවිධ පසුබිම් සලකා බැලීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා නීති මත පදනම් වූ වැඩපිළිවෙළක් සදහා නීතිරීති පිළිපැදීමේ අවශ්‍යතාව ද අවධාරණය කළ අතර මෙම නීතිරීති අඛණ්ඩව අනුගමනය කරන ලෙස බටහිර රටවලින් ඉල්ලා සිටියේය.
 
ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් පෙන්වා දුන් දෙවන ප්‍රධාන අභියෝගය වූයේ ආසියාවට සැලකිය යුතු තර්ජනයක් වන දේශගුණික විපර්යාසයයි. ආසියානු කලාපයේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් දරුණු කාලගුණික වෙනස්වීම් සහ මුහුදු මට්ටම ඉහළ යාම, ආසියානු රටවල ජීවනෝපාය, ආහාර සුරක්ෂිතතාව සහ අපනයන කෙරෙහි බලපෑම් ඇති කරයි. දේශගුණික විපර්යාස හේතුවෙන් බලපෑමට ලක් වූ රටවල් පහළොවෙන් අටක්ම  අයත් වන්නේ ආසියාව වන අතර  මාලදිවයින, බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මියන්මාරය, පාකිස්තානය, පිලිපීනය සහ වියට්නාමය ඊට අයත් වේ. 
 
ගෝලීය කාබන් විමෝචනය සඳහා ආසියාව සැලකිය යුතු දායකත්වයක් සපයයි. ආසියාව ලෝකයේ කාබන් විමෝචනයෙන් අඩක් පමණ නිපදවන අතර විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන රටවල් 5 කින් සමන්විත වේ. දේශගුණික විපර්යාසවල අභියෝග අවම කිරීම සඳහා  කලාපයේ බොහෝ රටවල් දැනටමත් පැරිස් ගිවිසුම සමග අනුගත වී සිටී.
 
ඒ සඳහා එම සියලුම රටවල් කැපකිරීම් සිදුකර ඇති අතර කලාපයේ ඇතැම් කාර්මික රටවල් විසින් අනුමත කරන ලද කෙටි කාලසීමාවන් මත පදනම්ව කාබන් මධ්‍යස්ථතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා ආසියාව ද පොදු කාල රාමුවකට එකඟ විය යුතු බව ද ජනාධිපතිවරයා යෝජනා කළේය. 
 
ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම නිසා උග්‍ර වී ඇති දේශගුණික විපර්යාස හේතුවෙන් කලාපයේ සිදුවන පාඩු සහ හානියේ බලපෑම සැලකිල්ලට ගනිමින් දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම සඳහා සියලුම ආසියානු රටවල් අතර සහයෝගීතාවයේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිවරයා අනාගත සමුළුවලදී ඒකාබද්ධ ආසියානු හඬක අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය. ප්‍රධාන ආසියාතික රටවල් එකඟතාවකට පැමිණීමේ හැකියාව මත සමුළුවේ සාර්ථකත්වය රඳා පවතින බව ජනාධිපතිවරයා පැවසීය.
 
COVID-19 අනතුරුව ණය තිරසාරභාවය පිළිබඳ අර්බුදයකට ආසියාතික රටවල් කිහිපයක් මුහුණ දී ඇති අතර ශ්‍රී ලංකාව ඉන් වැඩි බලපෑමකට ලක්වූ රටකි. මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස, ණය තිරසාරභාවය පිළිබඳ ගැටළු විසඳීම සඳහා කාලයේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
 
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ අවදානමට ලක්විය හැකි මධ්‍යම ආදායම් ලබන රටවලට ඇති එකම විකල්පය වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බහුපාර්ශ්වික සම්බන්ධීකරණය සහ සහයෝගීතාව සහතික කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ හි සහාය ලබා ගැනීම බවයි.
 
ඒ අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළැඹුණු අතර 2023 මාර්තු මාසයේදී විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 3 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි  විධායක මණ්ඩලය අනුමත කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා  ශ්‍රී ලංකාව මේ වන විට ණය හිමියන් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් 2023 අවසන් වීමට පෙර එම සාකච්ඡා සාර්ථකව අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බවත් පැවසීය. 
 
මෙම ක්‍රියාවලියට බහුපාර්ශ්වික නියෝජිතායතන, පැරිස් සමාජ සාමාජිකයින්, ඉන්දියාව, චීනය සහ පෞද්ගලික ණය හිමියන් සම්බන්ධ වන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. 
 
ශ්‍රී ලංකාව මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම මධ්‍යම ආදායම් ලබන රටවලට ණය සහන සඳහා බහු පාර්ශ්වික සම්බන්ධීකරණය සහතික කර ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල භාවිතා කිරීමට අත්දැකීමක් කරගත හැකි බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
 
සියලු ආකාරයේ ආර්ථික බලපෑම් ප්‍රතික්ෂේප කරමින් ලෝක වෙළඳ සංවිධානයේ හරය වූ නීතිරීති මත පදනම් වූ බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමය ආරක්ෂා කිරීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. 
 
බෙදීම් ප්‍රතික්ෂේප කිරීමටත් ආර්ථිකය ඔරොත්තුදීම් සහ සුරක්ෂිතතාවය සඳහා උපාය මාර්ග වෙනුවෙන් හිරෝෂිමා හිදී ජී7 නායකයන් ගත් තීරණ පිළිබඳ ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කර සිටියි. ඒ අනුව ජනාධිපතිවරයා කියා සිටියේ  ජී7 කණ්ඩායම, සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇතුළු ගෝලීය හවුල්කරුවන් සමඟ සංවාදයේ යෙදීමට සහ සහයෝගීතා ප්‍රවේශයක් අනුගමනය කිරීමට තීරණය  කර ඇති බවයි. 
 
යුක්‍රේන යුද්ධයේ සංකීර්ණ ප්‍රශ්නය පිළිබඳව ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා, එම ගැටුම සම්බන්ධයෙන් ආසියානු ජාතීන් විවිධ මත දරණ බව සඳහන් කළේය. 
 
ඇතැමුන් එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සෘජු ආක්‍රමණය කිරීමක් සහ උල්ලංඝණය කිරීමක් ලෙස සලකන අතර, තවත් පිරිසක් එය සෝවියට් සංගමය බිඳී යාම සහ එම ගැටලුව විසඳීමට යුරෝපයට ඇති නොහැකියාව නිසා පැන නගින වඩාත් සංකීර්ණ ගැටලුවක් ලෙස සළකන බවත්, කෙසේ වෙතත් මෙම ගැටුම අවසන් කිරීම සඳහා පොදු එකඟතාවයක් වෙනුවෙන් අවබෝධාත්මක සංවාදයක් අවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
 
එක්සත් ජනපද-චීන එදිරිවාදිකම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ආසියාව එක්සත් ජනපද - චීන එදිරිවාදිකමේ තීරණාත්මක සාධකය බවට පත්ව ඇති බවයි.
මෑත කාලයේ එම එදිරිවාදිකම තීව්‍ර වීම නිසා එක් අතකින් QUAD  (ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය අතර)  කලාපයත්, අනෙක් පසින් ඉන්දු-පැසිෆික් කලාපය සහ (BRI) එක තීරයක් - එක මාවතක් ඇති විය.
 
එක්සත් ජනපද-චීන එදිරිවාදිකම් සම්බන්ධයෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ මේ බලවත් රාජ්‍යන් දෙකෙන් එකක් තෝරා ගැනීමට ආසියාතික රටවලට බල කිරීමට අවශ්‍ය නොවන බවයි.  එසේම  ආසියාන් රටවල් සහ චීනය අතර ආර්ථික අන්තර් රඳා පැවැත්ම ඉස්මතු කළ ජනාධිපතිවරයා ආසියාව දෙකඩ කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කළේය.
 
ආසියානු කලාපයට අවශ්‍යව ඇත්තේ ඉන්දු පැසිෆික්,  BRI (එක තීරයක් - එක මාවතක්) සහ ආසියාන් දැක්ම උකාහගත හැකි ආසියාවක් බවද ජනාධිපතිවරයා පැවසීය. 
 
ඉන්දියානු සාගර රාජ්‍යයන් මෙහෙයවන එකම මූලධර්ම වන්නේ 1955 බැන්ග්ඩුන්ග් හි පැවති ආසියානු අප්‍රිකානු සමුළුවේ ප්‍රතිඵලයක් වන ඉන්දියන් සාගරය සාම කලාපයක් ලෙස නම් කිරීමේ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයයි.  2017 වසරේ පැවති IORA නායක සමුළුවේදී මෙය නැවත ප්‍රකාශ කරන ලදී. එබැවින්, ශ්‍රී ලංකාව “ඉන්දියානු සාගරය - අපගේ අනාගතය නිර්වචනය කිරීම” 2018 සමුළුව   කැඳවූ අතර යාත්‍රා කිරීමේ නිදහස, ගුවනේ පියාසර කිරීම සහ මුහුද යට කේබල් පිළිබඳ ගිවිසුමක අවශ්‍යතාවය එහිදී ඉස්මතු කළේය.
 
ඉන්දු-පැසිෆික් කලාපයේ බහු ස්ථර සම්බන්ධතාවයක් සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත්, අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ "සාමය සඳහා වූ මූලධර්ම සහ සෞභාග්‍යය සඳහා වූ නීති" ප්‍රතිපත්තියට ජනාධිපතිවරයා පූර්ණ සහය පළ කරන බවත් ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසීයසෞභාග්‍යය සඳහා වන රීතිවලට අනුකූලව, ශ්‍රී ලංකාව ආර්ථික ලිහිල්කරණයේ ඉහළ මට්ටමක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම (RCEP) හි සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කරන බව ඔහු පැවසීය.
 
චීනය සමඟ ස්ථාවර සහ ඵලදායී සබඳතාවක් ගොඩනඟා ගැනීමට ගෙන ඇති  G7 ස්ථාවරය ශ්‍රී ලංකාව  පිළිගන්නා බව පැවසූ ජනාධිපතිවරයා, එයට ශ්‍රි ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බවත්, එය සාමකාමී වාතාවරණයක් උදාකර ගැනීමට ඉවහල් වන බව ද ප්‍රකාශ කළේය. 
 
ජපානයේ සහයෝගී ප්‍රවේශය අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානය, චීනය, ඉන්දියාව සහ ආසියාන් රටවල් අතර විවෘත සංවාදයක් සඳහා ඇරැයුම් කළ අතර එය සාමකාමී සහ සමෘද්ධිමත් ආසියානු කලාපයක් බිහිවීම සඳහා තීරණාත්මක සාධකයක් වනු ඇති බව ද පැවසීය.
Previous Next

සියලු බලධාරීන් මැදිහත් කර ගනිමින් ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි ඩෙංගු මර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීමට අරලියගහ මන්දිරයේ අද(25) පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආණ්ඩුකාරවරුන්ට පැවසීය.

 
ආණ්ඩුකාරවරුන්, පළාත් සභා ලේකම්වරුන්, පළාත් පාලන කොමසාරිස්වරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සූම් තාක්ෂණය ඔස්සේ සහභාගි කරවා ගනිමින් පැවැති මෙම සාකච්ඡාවේදී සිය බල ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු රැස්කරමින් රෝගය පාලනය කිරීමට අදාල ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ තවදුරටත් රෝගය පැතිරී යාම වැළැක්වීමට ප්‍රමුඛතාවය දිය යුතු හෙයින් මේ වන විට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා රෝග පාලනයට ක්‍රියාත්මක වැඩසටහන් නොනවත්වා පවත්වා ගෙන යාම අවශ්‍ය බවයි.
 
ඩෙංගු රෝගය පාලනයට ඒ ඒ පළාත්වල මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරු අදහස් දැක්වූහ. ඉදිකිරීම් භූමි, පාසල් හා ආගමික ස්ථාන ආශ්‍රීතව ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින හෙයින් එවැනි ස්ථාන කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙන බවත් ඒ සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලින් සුවිශේෂී දායකත්වයක් හිමිවන බවත් ඔවුහු සඳහන් කළහ.
 
මෙම අවස්ථාවට පළාත් සභ හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත,  අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් රංජිත් අශෝක මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

• ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජපානයේදී හිටපු අග්රාමාත්ය යොෂිහිඩේ සුගා මහතා හමුවිය. එහිදී රටේ ආර්ථික ප්රකෘතිය පිළිබඳව කරුණු දැක්වූ ජනාධිපතිවරයා යළි මෙරටට පැමිණ ආයෝජනය කරන ලෙස ජපානයට ආරාධනා කළේය

දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ ලැබීමට නම් සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කළ යුතු බවත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කර ගැනීම සම්පූර්ණයෙන් ම ඩිජිටල්කරණය කරන බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග කුමක් දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

 පසුගිය වර්ෂවල බිලියන 10ක පමණ අලාභයක් සිදුව තිබෙනවා. මේ අලාභය පියවා ගැනීමට නම් මේ ආයතනයේ තිබෙන අකාර්යක්ෂමතාව, වංචා දූෂණ නැති කරන්න එක උත්තරයයි තිබෙන්නේ. මේ සියල්ල ඩිජිටල්කරණයට ලක් කළ යුතුයි.ඒ සඳහා මාස තුනක් ඇතුළත ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කර ගැනීම සම්පූර්ණයෙන් ම ඩිජිටල්කරණය කරන්න කටයුතු කරනවා.

තවද, ගාස්තුවල ගැළපුමක් ඇති කළ යුතුයි.දුම් රිය ගාස්තු සංශෝධනයක් කළ යුතුයි. තීන්දු ගැනීමේ දී දෙපාර්තමේන්තුගත ක්‍රමය අනුව විශාල කාලයක් ගත වෙනවා. ආයතනය කාර්යක්ෂම කිරීමට නම් දුම් රිය දෙපාර්තමේන්තුව වානිජ කටයුත්තක් කරන්න නම් අකමැති වුණත් දෙපාර්තමේන්තු ක්‍රමයෙන් බැහැර විය යුතුයි. අධිකාරියක් කිරීම සඳහා පනතක් හදලා තිබුණා.ඊට අවශ්‍ය ලෙස සංශෝධනය කරන්න,වෘත්තීය සමිති සහ අවශ්‍ය බලධාරීන්ට ලබාදෙනවා.රටේ අනාගතය වෙනුවෙන් ඊට සහයෝගය දී හදාගන්න ඉඩ දෙමු යැයි ද අමාත්‍යවරයා පැවසීය.

දුම්රිය හරස්මාර්ග වල සිදුවන අනතුරු සම්බන්ධව හා ඊට ගත් විසඳුම් පිළිබඳව පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙසේ පැවසීය

දුම්රිය හරස් මාර්ග වල විශාල අනතුරු සිදු වී තිබෙනවා.වාහන විශාල සංඛ්‍යාවක් අනතුරට ලක් වෙනවා. මේ පිළිබදව සොය බැලුවා. 438ක් ආලෝක සංඥා ගේට්ටු තිබෙනවා. 434ක් බෙල් ඇන්ඩ් ලයිට් ක්‍රමයට ගේට්ටු තිබෙනවා. හදාගෙන යන උතුරු මාර්ගයේ ගේට්ටු 130ක් හැදෙනවා. 330ක් තව අඩුව තිබෙනවා. මේ පිළිබඳව සොයා බැලුවා. ඉතා විශාල පිරිවැයක් යොදලා තමයි ගෙට්ටු හදලා තිබෙන්නේ.

මේ පිළිබඳ සැලැස්මක් තමන් වෙත ලැබී තිබෙන බව කී අමාත්‍යවරයා; දුම් රිය නැවතුම් පොළ තුන්සිය ගණනෙ ම තව මාස දෙකක් යන විට සම්පූර්ණයෙන් ම අවසන් කරන ක්‍රමයක් තිබෙනවා. වියදම ලක්ෂ දහයකට අඩු කර තිබෙනවා.පුද්ගලික අංශයට ආරාධනා කරලා දුම්රිය අතුරු මාර්ග සියල්ල, රාජ්‍ය පුද්ගල දායකත්වයෙන් සමාජ ආරක්ෂණය අරමුණු කරගෙන අවසන් කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා සිංගප්පූරුව සහ ජපානය බලා පිටත්ව ගොස් තිබේ.

සිය එක් දින සිංගප්පූරු සංචාරයේ දී ජනාධිපතිවරයා සිංගප්පූරුවේ නීතිය හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

මැයි 24 සිට 27 දක්වා සිදු කෙරෙන ජනාධිපතිවරයාගේ ජපාන නිල සංචාරයේ දී එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳවත්, කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳවත් එහිදී අදහස් හුවමාරු කර ගනු ඇත.

එමෙන්ම ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි, මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි  මෙන්ම ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝ  යන මහත්වරුන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 25 සහ 26 දෙදින ටෝකියෝ නුවර පැවැත්වෙන ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව (Nikkei) ඇමතීමට නියමිතය.

ආසියාවේ අනාගතය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව යනු ආසියා පැසිෆික් කලාපයේ දේශපාලන, ආර්ථික සහ කලාපීය ගැටලු හා ලෝකයේ ආසියාවේ භූමිකාව පිළිබඳව කලාපයේ නායකයන් එක්ව අදහස් හුවමාරු කර ගන්නා ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමුළුවකි. ජපානයේ “නික්කෙයි” (Nikkei) පුවත්පත 1995 වසරේ සිට වාර්ෂිකව මෙම සමුළුව සංවිධාන කරනු ලබයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන – ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කවුන්සිලය, ජපානයේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ ජපාන – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟ ද සාකච්ඡා පවත්වනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවීමට 2022 සැප්තැම්බර් මාසයේ ජපානයේ සංචාරයක නිරත වූ අතර වත්මන් ධූර කාලය තුළ ජනාධිපතිවරයා ජපානයේ සිදුකරන දෙවන සංචාරය මෙයයි.

ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය දෙරට අතර සහයෝගීතාව සහ මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක් වෙති.

169,000ක පමණ ජනතාවකගේ පිරිසිදු පානිය ජල අවශ්‍යතාව සපුරාලමින් අරණායක ජල යෝජනා ක්‍රමය ජනපති අතින් ජනතා අයිතියට.

බංකොළොත් බවින් මිදුණු අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කෑගල්ල අරණායක “අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය” ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට පසුගිය දා (21) එක් වෙමිනි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවලට අයත් ග්‍රාම නිලධාරි වසම් 135ක පැවති පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දෙමින් ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 3,847ක මූල්‍ය ප්‍රතිපාදන සහ නෙදර්ලන්ත රජයේ රුපියල් මිලියන 18,650ක ණය ආධාර යටතේ මෙම ජල යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවිණි.

එහි ඉදිකිරීම් 2018 වසරේ ආරම්භ කෙරුණු අතර ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරිණි.

දිනකට ඝන මීටර 21,000ක ධාරිතාවයකින් යුත් ජල පිරිපහදුවක්, සේවා ජලාශ 07ක්, කිලෝ මීටර් 37ක සම්ප්‍රේෂණ නළ පද්ධතියක් සහ කිලෝ මීටර් 120ක බෙදාහැරීමේ නළ පද්ධතියක් මේ යටතේ ඉදිකර තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ පවුල් 52,300ක් ආවරණය වන පරිදි 169,000ක පමණ ජනතාවකට පිරිසිදු සහ සුරක්ෂිත පානීය නළ ජල පහසුකම හිමිවන අතර ඒ යටතේ නව ජල සබඳතා 25,200ක් ලබාදීම සහ පවතින ජල සබඳතා 27,100ක් වැඩිදියුණු කිරීමට ද නියමිතය.

සමරු ඵලකය නිරාවරණය කර ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කළ ජනාධිපතිවරයා ජල පද්ධතිය ද විවෘත කළේය.

අනතුරුව ජල යෝජනා ක්‍රමය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය

2018 වර්ෂයේ දී අග්‍රාමාත්‍යවරයා ලෙස මෙම ජල යෝජනා ක්‍රමයට මුල්ගල තැබීමට පැමිණියා. අද මම ජනාධිපතිවරයා ලෙස එම ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමට පැමිණීමට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකනවා. එවකට මෙම ජල යෝජනා ක්‍රමය සඳහා මුල්ගල තැබීමට මා පැමිණියේ කබීර් හෂීම් මැතිතුමා කළ ඉල්ලීම මතයි. මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට හැකිවීම සම්බන්ධයෙන් මම සතුටට පත්වෙනවා.

කබීර් හෂීම් ඇමතිතුමා ගෙන ගිය වැඩපිළිවෙළ ඊළඟට පත්වූ ආණ්ඩුවද ඉදිරියට ගෙන ගොස් අද වන විට ජීවත් තොණ්ඩමන් ඇමතිතුමාගෙ ධුර කාලයේදී අවසන් කර තිබෙනවා. අද ආරම්භ කරන මෙම ජල යෝජනා ක්‍රමය මගින් ලක්ෂ දෙකක පමණ ජනතාවකගේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. මෙම ජල යෝජනා ක්‍රමය වෙනුවෙන් දායක වූ සියලු සේවක මහත්ම මහත්මීන්ට මගේ ස්තුතිය පිරිනමනවා.

පසුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකාව බංකොලොත් රටක් කියා ප්‍රකාශ කිරීමෙන් පසුව කිසිදු ආයෝජකයෙක් මෙරටට පැමිණියේ නැහැ. හිටපු ආයෝජකයන් රටින් ගියා. එවැනි පරිසරයක් තුළ විදේශ ආයෝජකයින් ලංකාව ට ආධාර උපකාර ලබාදීමට උනන්දු වෙන්නේ නැහැ.එවැනි තත්ත්වයක් තුළ මම රට භාර අරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් රටේ ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වකට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

මොකද සිංහල වුණත් දෙමළ වුණත් මිනිස්සු හිඟන්නෝ විදියට ජීවත් වෙන්න කැමැති නැහැ. ඔවුන් කැමැති නම්බුකාර ලෙස අභිමානයෙන් ජීවත් වීමටයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට අසීරු කොන්දේසි පනවා තිබුණා. නමුත් අපට වෙන විකල්ප තිබුණෙ නැහැ. මීට පෙර ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමේ දි මෙවැනිම කොන්දේසි ඉදිරිපත් කෙරුණා. එහිදී පසුගිය එක් ආණ්ඩුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙණුවලින් ඉවත් වුණා. නමුත් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් එම වැඩපිළිවෙල නිසි කළමනාකරණයකින් යුතුව ඉදිරියට ගෙන යමින් සිටිනවා.

එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට අපේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගෙන ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකියාව තිබෙනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අතිකරගත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන තිබෙනවා. බංකොලොත් භාවයෙන් මිදී නම්බුකාර රටක් ගොඩ නැගීමට අපි සියලු දෙනාම එක්වී කැපවීමෙන් කටයුතු කළ යුතුයි.

ශ්‍රී ලංකාව සඳහා ස්ථාවර සහ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක් සමාගම සමඟ ගිවිසුමකට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා සහ සිනොපෙක් සමාගමේ ඉන්ධන නිෂ්පාදන සහ අළෙවි දෙපාර්තමේන්තුවේ කළමණාකාර අධ්‍යක්ෂ චෙන් චෙන්ග්මිම් Chen Chengmim යන මහත්වරු ජනාධිපතිවරයා ඉදිරියේ ගිවිසුමට අත්සන් තැබූහ.

ශ්‍රී ලංකාවේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ පාරිභෝගිකයින් දුෂ්කරතාවට පත්නොවන ආකාරයට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙම පියවරට එළැඹිණි.

පසුගිය සමයේ ඉන්ධන නැව්ගත කිරීම සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය ලබා දීමට නොහැකි වීමෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) විශාල අභියෝගයකට මුහුණ දෙනු ලැබීය. මෙම ගැටලුව විසඳීම සඳහා අමාත්‍යාංශය විවිධ උපාය මාර්ග සොයා බැලූ අතර ඊට පිළියමක් ලෙස ඉන්ධන නිෂ්පාදනය කරන රටවල පිහිටුවා ඇති පිළිගත් ඛනිජ තෙල් සමාගම්වලින් ශ්‍රි ලංකාවට ඉන්ධන සැපයුම පිළිබඳ විමසන ලදී.

එහි අරමුණ වූයේ මෙරට තුළ ක්‍රියාත්මක බෙදාහැරීමේ අළෙවි නියෝජිත ජාලයන් තුළින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අළෙවිය සිදු කිරීමයි. ඒ අනුව මෙම යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි විය.

එහිදී වෙළඳපොළට ඇතුළු වන නව සිල්ලර සැපයුම්කරුවන් සඳහා පනවා ඇති එක් ප්‍රධාන කොන්දේසියක් වන්නේ දේශීය බැංකු මත රඳා නොසිට විදේශ විනිමය අවශ්‍යතා ඔවුන් විසින්ම සුරක්ෂිත කර ගැනීමේ හැකියාවයි. ඒ අනුව මෙම සමාගම් අවම වශයෙන් ආරම්භක වසරක මෙහෙයුම් කාලය තුළදී විදේශීය මූලාශ්‍ර හරහා ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා තමන්ගේම අරමුදල් යොදා ගත යුතුය. මේ සඳහා ඔවුන්ගේ එකඟතාව ලැබීමෙන් පසු කෙටි ලැයිස්තුගත කර ඇති සමාගම්වලට ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට ආරාධනා කෙරිණි.

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුව (CASC) සහ තාක්ෂණික ඇගයීම් කමිටුව (TEC) විසින් එම යෝජනා මනා ලෙස පරීක්ෂා කර, සාකච්ඡාවලට යටත්ව පහත සඳහන් සමාගම් වෙත කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම නිර්දේශ කරන ලදී.

එම සමාගම් වන්නේ,

Sinopec Fuel Oil Lanka (Private) Limited, F5, හම්බන්තොට මැරිටයිම් සෙන්ටර්, මිරිජ්ජවිල, හම්බන්තොට.

United Petroleum Pty Ltd, 600, ග්ලෙන්ෆෙරි පාර, හෝතෝන්, වික්ටෝරියා 3122, ඕස්ටේලියාව.

Shell PLC සමඟ සහයෝගයෙන් RM Parks, 1061 N. මේන් ස්ට්‍රිට්, පෝටර්විල්, කැලිෆෝනියා 93257, ඇමරිකාව.

බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු දින 45ක් ඇතුළත සිනොපෙක් සමාගම සහ එහි අනුබද්ධ සමාගම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය. මෙම ක්‍රියාවලිය තුළින් වඩාත් ස්ථාවර සහ විශ්වාසනීය ඉන්ධන සැපයුමක් සහතික කෙරෙන අතර රටේ බලශක්ති ක්ෂේත්‍රය නංවාලීමට ද එය දායක වනු ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී. චානක, ඉන්දික අනුරුද්ධ, ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, චීන තානාපති කිව් ෂෙන්හෝං (Qi Zhenhong) යන මහත්වරු සහ සිනොපෙක් සමාගමේ සභාපති Yu Baocai, ජාත්‍යන්තර සහයෝගිතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Fan Liping යන මහත්වරු ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ 07වන සංවත්සර වැඩසටහන කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ දී ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී සංවත්සර උත්සවයට සමගාමීව ආසියානු මාධ්‍ය සංස්කෘතික සංගමයේ පුරෝගාමී, දිවංගත මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක මහතා අනුස්මරණය කිරීම ද අමාත්‍යවරයා ප්‍රමුඛ ආරාධිත අමුත්තන් අතින් සිදුවිය.

මාධ්‍ය, ලේඛන සහ කලා ක්ෂේත්‍රවල කැපී පෙනෙන මෙහෙවරක් කළ තෝරාගත් පිරිසකට ජනමාධ්‍ය ප්‍රණාම ප්‍රසාදනීය සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.

උත්සවය අමතමින් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා; 

ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ 7 වැනි සංවත්සර සමරුවට සමගාමීව අද දින අනුස්මරණය කෙරෙන ප්‍රවීණ මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක මහතා 1989 සමයේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මා පාර්ලිමේන්තුවට තේරී පත්වූ අවධියේ සිටම ඉතා පුළුල් දැක්මක් සහිත නිරායුධ අවිහිංසක මාධ්‍ය කරුවෙකු ලෙස උපේක්ෂා සහගතව පෑන හැසිරවූ විශිෂ්ඨ මාධ්‍යවේදියෙක්. මෙවැනි අවස්ථාවක එතුමා අනුස්මරණය කරමින් උපහාර දැක්වීම ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මා ඉතාමත් අගය කොට සලකනවා.

මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත වන මාධ්‍ය කරුවන් මර්දනයට, තර්ජනයට, මරණයට පත්කිරීමට තරයේ විරුද්ධ කෙනකු ලෙස විවිධ අවස්ථාවල සිනමා නිර්මාණ තුළින් මාගේ අදහස ඉදිරිපත් කරන්නට උත්සාහ දැරුවා. දෙස් විදෙස් වශයෙන් මාධ්‍ය විසින් සමාජගත කිරීමට උත්සහ දරන මතයන් පිළිබඳව ගැඹුරු කතිකාවතක් ඇති කිරීම උදෙසා සම්මානනීය "ද නිවුස් පේපර්" චිත්‍රපටිය අප විසින් නිෂ්පාදනය කළේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

මානව දයාවෙන් තොරව කවර මාධ්‍යයක් කුමන ආකාරයට හැසිරවූවත් එය මනුෂ්‍යත්වයේ හා සමාජයේ ප්‍රගමනයට සිදු කරන්නේ අහිතකර බලපෑමක්. වෛරය, අපහාස සහ උපහාස පදනම් කරගෙන මාධ්‍ය මෙහෙයවීම නොදියුණු මාධ්‍ය සංස්කෘතියක් ලෙස මා දකිනවා. එම නිසා ප්‍රබුද්ධ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම උදෙසා මෙරට මාධ්‍ය කරුවන්ට ඒ පිළිබඳව පුළුල් අධ්‍යයන අවස්ථාවන් විවර කර දීම උදෙසා අවස්ථාවන් අවම බව අප සියලු දෙනා පිළිගත යුතුයි. විෂය ධාරාවන් තුළ මාධ්‍ය විෂයක් ලෙස හඳුන්වා දී තිබුණත්, එලෙස උපාධිය දක්වා ගමන් කිරීමට හැකියාව තිබුනත් ඒ සඳහා අවස්ථාව නොලැබෙන, නිර්මාණාත්මක හැකියාවෙන් දක්ෂතාවයෙන් පිරිපුන් මාධ්‍යවේදීන් රැසක් අප අතර සිටිනවා. පවතින සීමාවන් යටතේ විශ්වවිද්‍යාල තුළ මාධ්‍ය පිළිබඳ උපාධියක් හිමිකර ගැනීමට අවස්ථාවන් නොලැබුනත් මාටින් වික්‍රමසිංහ ශූරීන්, චන්ද්‍රරත්න මානවසිංහයන්, ඩී බී ධනපාල සූරීන්, සිරිලාල් කොඩිකාර වැනි පරිනත, බරසාර මාධ්‍යවේදීන් බිහි වූයේ සාම්ප්‍රදායික අධ්‍යයන ක්‍රමවලින් බැහැරවයි.

 

එම නිසා රට තුළ දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම උදෙසා ඒ සඳහා සැබෑ උනන්දුවක් ඇති පිරිස් වෙනුවෙන් නිශ්චිත ආයතනයක් පිහිටුවීම පිළිබඳව මේ දිනවල සාකච්ඡා කෙරෙමින් පවතිනවා. එමෙන්ම කොළඹ සරසවි චිත්‍රාගාරය පරිශ්‍රය පාදක කර ගනිමින් සිනමා අධ්‍යයනය පිළිබඳව උසස් අධ්‍යාපන ආයතනයක් ඉන්දියානු රජයේ ද සහයෝගය ලබාගනිමින් පිහිටුවීම සඳහා ද අවධානය යොමු වී තිබෙනවා.
ජාතික චිත්‍රපටි සංස්ථාව, ජාතික චිත්‍රපට නියාමන කොමිසම බවට පත් කිරීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත මේ වන විට සකස් කර අවසන්.

 

වර්තමාන මාධ්‍ය තුළ වෛරය, ප්‍රචණ්ඩත්වය පිළිබඳ ප්‍රචාරණයන්ට වැඩි ඉඩක් වෙන් වන ප්‍රවණතාවක් පවතිනවා. නමුත් නමුත් ලෝකයේ බොහෝ දියුණු රටවල මෙවැනි ප්‍රවෘත්ති පළ කිරීම සම්බන්ධව දියුණු විනයක් පවතිනවා.අප වැනි ආසියානු රටවල මෙවැනි මාධ්‍ය භාවිතවන් පිළිබඳව විශාල චෝදනා පවතිනවා. ඒ පිළිබඳ පුළුල් කතිකාවතක් උදෙසා ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයටත් ඔබගේ අදහස් යෝජනා ඉදිරිපත් කරන ලෙස මා ආරාධනා කරනවා.

 

වෛරයෙන් මුසපත්ව මිනිසුන් මරා දමමින් රටක ප්‍රශ්න විසඳීමට උත්සාහ කරනවා වෙනුවට මානව දයාවෙන් යුතු මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම තුළින් එක්ව කටයුතු කරන්නට අත්වැල් බැද ගන්නා ලෙස මා සැමට ආරාධනා කරනවා.

 

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් මාරියා එල්. පොපෝවා මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මැතිතුමා, ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ සභාපති උපුල් ජනක ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන්, සම්මානලාභීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථා සඳහා එක්ව සිටියහ.

මෙවර පොසොන් උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඊට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සැපයේ. අනුරාධපුරයට පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවට පහසුකම් සැපයිමටද පියවර ගෙන තිබේ. ඊට රාජ්‍ය නොවන සංවිධාන රැසක්ද සහාය වන බව අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

මේ අතර අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ පොසොන් උත්සවයට පුර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බවයි. මේ සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා සමග සාකච්ඡා කර තිබේ. පොසොන් උත්සවය සදහා මිහින්තලය පුදබිමට පමණක් රුපියල් ලක්‍ෂ 31 ක් ලබාදී ඇති බව එහිදී ලේකම්වරයා ප්‍රකාශ කර ඇත. ජාතික පොසොන් උත්සවයට අවශ්‍ය රජයේ සහායට අමතරව ආරක්‍ෂක අංශවල සහායද ලබාදිීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා එහිදී කීවේය.

සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලිකත්වයට සහ පුද්ගල පැවැත්මට අහිතකර අන්දමින් අපහාසාත්මක සහ වෛරී ප්‍රකාශ සිදුකරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාක්මක කරන බවද අමාත්‍යවරයා පවසයි. ආගමික ඩ්€~ ජාතික සහ සමාජ සංස්කෘතික වශයෙන් විවිධ ජනකොටස් කුපිත කරවන වැඩසටහන් සහ ප්‍රකාශ සම්බන්ධයෙන්ද දැඩි ක්‍රියාමාර්ග ගැනේ. මිනිමැරුම්. ප්‍රචණ්ඩත්වය. ළමා අපචාර සහ ලිංගික හිංසනය සම්බන්ධයෙන් මාධ්‍ය ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව විශේෂ කාරක සභා රැස්වීමක් ලබන සිකුරාදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ. ඊට මාධ්‍යවේදීන්ගේ අදහස් හා යෝජනා වැදගත් වන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය.

අපවත් වී වදාළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක දොඩම්පහළ චන්දසිරි මහනාහිමියන්ගේ ශ්‍රී දේහය මේ වන විට රාජගිරිය කළපලුවාව, ගෝතම තපෝවනයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ.

උන් වහන්සේගේ අවසන් කටයුතු මේ ඉරිදා (21) පස්වරු 3.00ට නිදහස් චතුරශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසීය. ගෝතම තපෝවනයේ තැන්පත් කර ඇති නාහිමියන්ගේ ශ්‍රී දේහය අවසන් කටයුතු සඳහා ඉරිදා පස්වරු 1.00ට එම ස්ථායෙන් නිදහස් චතුරශ්‍රය කරා රැගෙන එනු ලැබීමට නියමිතය. උත්තරීතර මහා නායක ධූරන්දර, අභිධජරට්ඨගුරු, අග්ග මහා පණ්ඩිත, දොඩම්පහල චන්දසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ පෙරේදා (16) අපවත් වූහ.

 
ලංගම කොන්දොස්තරවරුන්ට හා රියැදුරන්ට කෙරෙන මැර ප්රහාර වහා නැවැත්විය යුතු යැයි ප්රවාහන, මහා මාර්ග හා ජනමාධ්ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පතිට දැනුම් දී ඇත.
ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට පසුගිය දින කිහිපය පුරාවට දිවයිනේ විවිධ ප්රදේශවල දී එල්ල කරන ලද මැර ප්රහාර පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කර අදාළ පුද්ගලයන් සම්බන්ධව නීතිය තදින් ක්රියාත්මක කරන ලෙස ප්රවාහන මහා මාර්ග හා ජනමාධ්ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස් මහතා සහ පොලිස්පතිතුමා වෙත දන්වා තිබේ.
ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා යොමු කරන ලද ලිපියේ මෙසේ සඳහන් වේ.
ලංගම කොන්දොස්තරවරුන්ට හා රියැදුරන්ට කෙරෙන මැර ප්රහාර වහා නැවැත්වීම සම්බන්ධවයි. ගෙවුණු කෙටි කාලය තුළ ප්රවාහන වියදම් අධික ලෙස ඉහළ යෑම නිසා දුම්රියට හා බස් රථ සඳහා වන ඉල්ලුම ශීඝ්රයෙන් ඉහළ ගොස් ඇත. පාසල් සිසුන්, රැකියාවන් සඳහා ගමන් කරන මගීන් වැඩි වැඩියෙන් පොදු ප්රවාහනයට විතැන් වීම නිසා ලංකා ගමනාගමන මණ්ඩලයට ඇති අධික ඉල්ලුම සපුරා ලීමේ අරමුණින් ඉන්දියානු ණය යෝජනා ක්රම යටතේ නව බස් රථ 500ක්‌ ද අලුත්වැඩියා කරන ලද බස් රථ 400ක් ද ධාවනයේ යෙදවීමත් සමඟ පෞද්ගලික පටු ලාභ අරමුණු කර ගෙන ක්රියා කරන ඇතැම් කණ්ඩායම් පොදු ප්රවාහනය සිදු කෙරෙන මාර්ගවල ධාවනය කෙරෙන ලංගම බස් රථ රියැදුරන්ට හා කොන්දොස්තරවරුන්ට අමානුෂික මැර ප්රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත.
ඉකුත් දින දෙක තුළ කුරුණෑගල ගනේවත්ත මාර්ගය සහ පොලොන්නරුව ප්රදේශයේ සිදු කරන ලද මැර ප්රහාරවලින් බස් රථ රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට තුවාල සිදු කිරීම සහ රෝහල්ගත කිරීම් වාර්තා වී ඇත. මෙම මැර කණ්ඩායම්වලට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කළත් ඇතැම් පොලිස් ස්ථාන එම මැර පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ දියාරු පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් නිරායුධ ලංගම සේවකයන්, ඩිපෝ වශයෙන් රාජකරි වර්ජනය කිරීමේ තත්ත්වයක් උද්ගත වී තිබේ. ඒ හේතුවෙන් විශාල මාර්ග ප්රමාණයක බස් රථ ධාවනය ඇනහිටීම සිදු වන අතර, පාසල් සිසුන් ඇතුළු මගී ජනතාව විශාල පීඩාවට පත්වේ. මෙම තත්ත්වය වැළැක්වීමට නම් ඔබතුමාගේ අමාත්යාංශය යටතේ පවතින දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට, කවර ආකාරයේ මැර ප්රහාරයක් බස් රථ සහ සේවකයන්ට එල්ල වුවත් එම ප්රහාරකයන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමටත්, ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කර යුක්තිය ඉටුකිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් යෙදීමට කාරුණික වන ලෙස මෙයින් ඉල්ලා සිටිමි. ශ්රී ලංගම ජාතිය සතුය. රැක ගැනීම ඔබ සතුය. ලංගම පොදු දේපළක් වන බැවින් ඊට විරුද්ධව කෙරෙන තර්ජන, ගර්ජන, අලාභහානි, මැර ප්රහාර පොදු දේපොළ පනත යටතට අයත් වන බව මාගේ විශ්වාසයයි. එම නිසා පොදු දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් ඇප රහිතව බන්ධනාගාරගත කිරීමේ හැකියාව තිබියදීත් ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් එසේ ක්රියා නොකරන්නේ නම් ඒ පිළිබඳව ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කළ යුතුය. ප්රවාහන අමාත්යාංශය වශයෙන් මැර ප්රහාරයක් සඳහා පෞද්ගලික බස් රථ හිමියන් හෝ ඒවායේ සේවකයන් සම්බන්ධ බවට ඔප්පු වූවොත් එකී පෞද්ගලික බස් රථ ධාවන බලපත්රය අහෝසි කිරීමට ක්රියා කරන ලෙස ජාතික ගමනාගමන කොමිසමට මා උපදෙස් ලබා දී ඇති බවට වැඩිදුරටත් දන්වා සිටිමි. ඔබතුමාගේ කාරුණික අවධානය මේ පිළිබඳව යොමු කොට, පොලිස්පතිතුමා ඇතුළු අදාළ බලධාරීන්ට මේ පිළිබඳව කඩිනමින් උපදෙස් ලබා දෙන්නේ නම් මැනවි යැයි එම ලිපියේ තවදුරටත් දක්වා ඇත

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter