මෙවර පොසොන් උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඊට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සැපයේ. අනුරාධපුරයට පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවට පහසුකම් සැපයිමටද පියවර ගෙන තිබේ. ඊට රාජ්‍ය නොවන සංවිධාන රැසක්ද සහාය වන බව අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

මේ අතර අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ පොසොන් උත්සවයට පුර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බවයි. මේ සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා සමග සාකච්ඡා කර තිබේ. පොසොන් උත්සවය සදහා මිහින්තලය පුදබිමට පමණක් රුපියල් ලක්‍ෂ 31 ක් ලබාදී ඇති බව එහිදී ලේකම්වරයා ප්‍රකාශ කර ඇත. ජාතික පොසොන් උත්සවයට අවශ්‍ය රජයේ සහායට අමතරව ආරක්‍ෂක අංශවල සහායද ලබාදිීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා එහිදී කීවේය.

සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලිකත්වයට සහ පුද්ගල පැවැත්මට අහිතකර අන්දමින් අපහාසාත්මක සහ වෛරී ප්‍රකාශ සිදුකරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාක්මක කරන බවද අමාත්‍යවරයා පවසයි. ආගමික ඩ්€~ ජාතික සහ සමාජ සංස්කෘතික වශයෙන් විවිධ ජනකොටස් කුපිත කරවන වැඩසටහන් සහ ප්‍රකාශ සම්බන්ධයෙන්ද දැඩි ක්‍රියාමාර්ග ගැනේ. මිනිමැරුම්. ප්‍රචණ්ඩත්වය. ළමා අපචාර සහ ලිංගික හිංසනය සම්බන්ධයෙන් මාධ්‍ය ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව විශේෂ කාරක සභා රැස්වීමක් ලබන සිකුරාදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ. ඊට මාධ්‍යවේදීන්ගේ අදහස් හා යෝජනා වැදගත් වන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය.