දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ ලැබීමට නම් සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කළ යුතු බවත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කර ගැනීම සම්පූර්ණයෙන් ම ඩිජිටල්කරණය කරන බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග කුමක් දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

 පසුගිය වර්ෂවල බිලියන 10ක පමණ අලාභයක් සිදුව තිබෙනවා. මේ අලාභය පියවා ගැනීමට නම් මේ ආයතනයේ තිබෙන අකාර්යක්ෂමතාව, වංචා දූෂණ නැති කරන්න එක උත්තරයයි තිබෙන්නේ. මේ සියල්ල ඩිජිටල්කරණයට ලක් කළ යුතුයි.ඒ සඳහා මාස තුනක් ඇතුළත ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කර ගැනීම සම්පූර්ණයෙන් ම ඩිජිටල්කරණය කරන්න කටයුතු කරනවා.

තවද, ගාස්තුවල ගැළපුමක් ඇති කළ යුතුයි.දුම් රිය ගාස්තු සංශෝධනයක් කළ යුතුයි. තීන්දු ගැනීමේ දී දෙපාර්තමේන්තුගත ක්‍රමය අනුව විශාල කාලයක් ගත වෙනවා. ආයතනය කාර්යක්ෂම කිරීමට නම් දුම් රිය දෙපාර්තමේන්තුව වානිජ කටයුත්තක් කරන්න නම් අකමැති වුණත් දෙපාර්තමේන්තු ක්‍රමයෙන් බැහැර විය යුතුයි. අධිකාරියක් කිරීම සඳහා පනතක් හදලා තිබුණා.ඊට අවශ්‍ය ලෙස සංශෝධනය කරන්න,වෘත්තීය සමිති සහ අවශ්‍ය බලධාරීන්ට ලබාදෙනවා.රටේ අනාගතය වෙනුවෙන් ඊට සහයෝගය දී හදාගන්න ඉඩ දෙමු යැයි ද අමාත්‍යවරයා පැවසීය.

දුම්රිය හරස්මාර්ග වල සිදුවන අනතුරු සම්බන්ධව හා ඊට ගත් විසඳුම් පිළිබඳව පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙසේ පැවසීය

දුම්රිය හරස් මාර්ග වල විශාල අනතුරු සිදු වී තිබෙනවා.වාහන විශාල සංඛ්‍යාවක් අනතුරට ලක් වෙනවා. මේ පිළිබදව සොය බැලුවා. 438ක් ආලෝක සංඥා ගේට්ටු තිබෙනවා. 434ක් බෙල් ඇන්ඩ් ලයිට් ක්‍රමයට ගේට්ටු තිබෙනවා. හදාගෙන යන උතුරු මාර්ගයේ ගේට්ටු 130ක් හැදෙනවා. 330ක් තව අඩුව තිබෙනවා. මේ පිළිබඳව සොයා බැලුවා. ඉතා විශාල පිරිවැයක් යොදලා තමයි ගෙට්ටු හදලා තිබෙන්නේ.

මේ පිළිබඳ සැලැස්මක් තමන් වෙත ලැබී තිබෙන බව කී අමාත්‍යවරයා; දුම් රිය නැවතුම් පොළ තුන්සිය ගණනෙ ම තව මාස දෙකක් යන විට සම්පූර්ණයෙන් ම අවසන් කරන ක්‍රමයක් තිබෙනවා. වියදම ලක්ෂ දහයකට අඩු කර තිබෙනවා.පුද්ගලික අංශයට ආරාධනා කරලා දුම්රිය අතුරු මාර්ග සියල්ල, රාජ්‍ය පුද්ගල දායකත්වයෙන් සමාජ ආරක්ෂණය අරමුණු කරගෙන අවසන් කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.