ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ 07වන සංවත්සර වැඩසටහන කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ දී ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී සංවත්සර උත්සවයට සමගාමීව ආසියානු මාධ්‍ය සංස්කෘතික සංගමයේ පුරෝගාමී, දිවංගත මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක මහතා අනුස්මරණය කිරීම ද අමාත්‍යවරයා ප්‍රමුඛ ආරාධිත අමුත්තන් අතින් සිදුවිය.

මාධ්‍ය, ලේඛන සහ කලා ක්ෂේත්‍රවල කැපී පෙනෙන මෙහෙවරක් කළ තෝරාගත් පිරිසකට ජනමාධ්‍ය ප්‍රණාම ප්‍රසාදනීය සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.

උත්සවය අමතමින් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා; 

ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ 7 වැනි සංවත්සර සමරුවට සමගාමීව අද දින අනුස්මරණය කෙරෙන ප්‍රවීණ මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක මහතා 1989 සමයේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මා පාර්ලිමේන්තුවට තේරී පත්වූ අවධියේ සිටම ඉතා පුළුල් දැක්මක් සහිත නිරායුධ අවිහිංසක මාධ්‍ය කරුවෙකු ලෙස උපේක්ෂා සහගතව පෑන හැසිරවූ විශිෂ්ඨ මාධ්‍යවේදියෙක්. මෙවැනි අවස්ථාවක එතුමා අනුස්මරණය කරමින් උපහාර දැක්වීම ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මා ඉතාමත් අගය කොට සලකනවා.

මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත වන මාධ්‍ය කරුවන් මර්දනයට, තර්ජනයට, මරණයට පත්කිරීමට තරයේ විරුද්ධ කෙනකු ලෙස විවිධ අවස්ථාවල සිනමා නිර්මාණ තුළින් මාගේ අදහස ඉදිරිපත් කරන්නට උත්සාහ දැරුවා. දෙස් විදෙස් වශයෙන් මාධ්‍ය විසින් සමාජගත කිරීමට උත්සහ දරන මතයන් පිළිබඳව ගැඹුරු කතිකාවතක් ඇති කිරීම උදෙසා සම්මානනීය "ද නිවුස් පේපර්" චිත්‍රපටිය අප විසින් නිෂ්පාදනය කළේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

මානව දයාවෙන් තොරව කවර මාධ්‍යයක් කුමන ආකාරයට හැසිරවූවත් එය මනුෂ්‍යත්වයේ හා සමාජයේ ප්‍රගමනයට සිදු කරන්නේ අහිතකර බලපෑමක්. වෛරය, අපහාස සහ උපහාස පදනම් කරගෙන මාධ්‍ය මෙහෙයවීම නොදියුණු මාධ්‍ය සංස්කෘතියක් ලෙස මා දකිනවා. එම නිසා ප්‍රබුද්ධ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම උදෙසා මෙරට මාධ්‍ය කරුවන්ට ඒ පිළිබඳව පුළුල් අධ්‍යයන අවස්ථාවන් විවර කර දීම උදෙසා අවස්ථාවන් අවම බව අප සියලු දෙනා පිළිගත යුතුයි. විෂය ධාරාවන් තුළ මාධ්‍ය විෂයක් ලෙස හඳුන්වා දී තිබුණත්, එලෙස උපාධිය දක්වා ගමන් කිරීමට හැකියාව තිබුනත් ඒ සඳහා අවස්ථාව නොලැබෙන, නිර්මාණාත්මක හැකියාවෙන් දක්ෂතාවයෙන් පිරිපුන් මාධ්‍යවේදීන් රැසක් අප අතර සිටිනවා. පවතින සීමාවන් යටතේ විශ්වවිද්‍යාල තුළ මාධ්‍ය පිළිබඳ උපාධියක් හිමිකර ගැනීමට අවස්ථාවන් නොලැබුනත් මාටින් වික්‍රමසිංහ ශූරීන්, චන්ද්‍රරත්න මානවසිංහයන්, ඩී බී ධනපාල සූරීන්, සිරිලාල් කොඩිකාර වැනි පරිනත, බරසාර මාධ්‍යවේදීන් බිහි වූයේ සාම්ප්‍රදායික අධ්‍යයන ක්‍රමවලින් බැහැරවයි.

 

එම නිසා රට තුළ දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම උදෙසා ඒ සඳහා සැබෑ උනන්දුවක් ඇති පිරිස් වෙනුවෙන් නිශ්චිත ආයතනයක් පිහිටුවීම පිළිබඳව මේ දිනවල සාකච්ඡා කෙරෙමින් පවතිනවා. එමෙන්ම කොළඹ සරසවි චිත්‍රාගාරය පරිශ්‍රය පාදක කර ගනිමින් සිනමා අධ්‍යයනය පිළිබඳව උසස් අධ්‍යාපන ආයතනයක් ඉන්දියානු රජයේ ද සහයෝගය ලබාගනිමින් පිහිටුවීම සඳහා ද අවධානය යොමු වී තිබෙනවා.
ජාතික චිත්‍රපටි සංස්ථාව, ජාතික චිත්‍රපට නියාමන කොමිසම බවට පත් කිරීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත මේ වන විට සකස් කර අවසන්.

 

වර්තමාන මාධ්‍ය තුළ වෛරය, ප්‍රචණ්ඩත්වය පිළිබඳ ප්‍රචාරණයන්ට වැඩි ඉඩක් වෙන් වන ප්‍රවණතාවක් පවතිනවා. නමුත් නමුත් ලෝකයේ බොහෝ දියුණු රටවල මෙවැනි ප්‍රවෘත්ති පළ කිරීම සම්බන්ධව දියුණු විනයක් පවතිනවා.අප වැනි ආසියානු රටවල මෙවැනි මාධ්‍ය භාවිතවන් පිළිබඳව විශාල චෝදනා පවතිනවා. ඒ පිළිබඳ පුළුල් කතිකාවතක් උදෙසා ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයටත් ඔබගේ අදහස් යෝජනා ඉදිරිපත් කරන ලෙස මා ආරාධනා කරනවා.

 

වෛරයෙන් මුසපත්ව මිනිසුන් මරා දමමින් රටක ප්‍රශ්න විසඳීමට උත්සාහ කරනවා වෙනුවට මානව දයාවෙන් යුතු මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම තුළින් එක්ව කටයුතු කරන්නට අත්වැල් බැද ගන්නා ලෙස මා සැමට ආරාධනා කරනවා.

 

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් මාරියා එල්. පොපෝවා මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මැතිතුමා, ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ සභාපති උපුල් ජනක ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන්, සම්මානලාභීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථා සඳහා එක්ව සිටියහ.