තැපැල් දෙපාර්තමේන්තුව 2025 වසරේදී ලාභ ලබන දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමට ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ,  ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (5) පැවති, රට පුරා තැපැල් කර්යාල සඳහා විශ්ව තැපැල් සංගමය පිරිනැමූ පරිගණක හා යූඑස්බී 1000ක්, බාර්කොඩ් ස්කෑනර් 1000ක්, ප්‍රින්ටර්ස් 1000ක් පිරිනැමීමේ ආරම්භක වැඩ සටහනකට සහභාගි වෙමිනි.

සංකේතාත්මකව තැපැල් ස්ථාන ගණනාවක් සඳහා පරිගණක සහ අදාළ උපකරණ පිරිනැමූ මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට, ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ, තැපැල්පති රුවන් සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහත්වරු, මාධ්‍ය ආයතන ප්‍රධානීහු, තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සහභාගි වූහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා: අපේ තැපෑල මේ රටේ තිබෙන දීර්ඝ කාලීන සෑම ජනකොටසකටම විශාල සන්නිවේදන සේවාවක් ඉටු කරන ශ්‍රී ලංකාණ්ඩුවේ දෙපාර්තමේන්තුවක්. රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා මේ විෂයය සම්බන්ධයෙන් ක්‍රියාකරනවා. ඔහු තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු අංශ සමඟ ඉතා හොඳින් කටයුතු කරනවා. වර්තමානයේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය තුළ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයක් කෙරෙනවා. අලාභ ලබන ආයතන පවත්වාගෙන යෑමට නොහැකියි. පසුගිය වර්ෂවල සාමාන්‍යයෙන් බිලියන 7ක 8ක අලාභයක් තැපැල් දෙපාර්තමේන්තුව ලබනවා. මේ වර්ෂයේදී එය බිලියන තුන දක්වා බිලියන පහකින් පමණ අඩු කරගැනීමට විශාල කැප කිරීමක් දායකත්වයක් තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු දෙනා දක්වා තිබෙනවා. අදාළ කැබිනට් ඇමැතිවරයා වශයෙන් මා ඒ පිළිබඳව රාජ්‍ය ඇමැතිවරයාටත්, තැපැල්පති ඇතුළු අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ සියලු දෙනාට ස්තුතිය පළ කරනවා. ඒ වගේම තැපැල් දෙපාර්තමේන්තුව විශ්ව තැපැල් සංගමයේ සාමාජිකයෙක්. විශ්වය හා තැපැල් දෙපාර්තමේන්තුව සම්බන්ධ වීම සඳහා සන්නිවේදන ක්‍රියාවලියේදී දරන දායකත්වය මත, ඒ අරමුදලට අපේ ශක්තියෙන් ගොඩ නැගෙන දායකත්වය, අරමුදලේ කොටසකට හිමිකම තැපැල් දෙපාර්තමේන්තුවට ලැබෙනවා. ඒ අනුව එම අරමුදලේ පවතින මුදල් භාවිත කරන්න, සෑම වර්ෂයකදීම අපට අයිති කොටස ලබාගන්න ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනෑ. මීට පෙර වර්ෂවල ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කර, ගිය වර්ෂයේදී තැපැල් දෙපාර්තමේන්තුවට තැපැල් ප්‍රවාහන කටයුතු සඳහා ලොරි තුනක් ලබාගෙන තිබෙනවා. මේ අවුරුද්දේ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම, ඵලදායී සහ නව්‍යකරණයට ලක් කිරීම අරමුණු කරගෙන ව්‍යාපෘති වාර්තාවක් සකස්කර දී තිබෙනවා වඩාත් දියුණු තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ තැපැල් සේවා සපයන්න. ඒ අනුව ඉල්ලා තිබෙනවා නවීන පරිගණක 1000ක්, යූපීඑස් 1000ක්, බාර් කෝඩ් ස්කෑනර් 1000ක්, ප්‍රින්ටර්ස් 1000ක්. මේවා විශාල වටිනාකමක් සහිත රුපියල් කෝටි 35ක උපකරණ තොගයක්. මේ උපකරණ තැපැල් කාර්යාල 653කට, උප තැපැල් කාර්යාල 300කට, තැපැල් තෝරන මධ්‍යෂ්ථාන වලට, මධ්‍ය තැපැල් හුවමරුවට ලබා දෙනවා. මේ තුළින් රට පුරා ක්‍රියාත්මක වන තැපැල් සේවාව වඩාත් මහජන හිතකාමී එකක් බවට පත් කිරීමට අවස්ථාව ලැබෙනවා. 2025 වන විට ලාභ ලබන දෙපාර්තමේන්තුවක් බවට මෙය පත් කරන්න ඉලක්ක කරගෙන කටයුතු කරනවා.

මෙහිදී අදහස් දක්වමින් ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, තැපැල් කටයුතු සම්බන්ධයෙන් ගෙන ඒමට නියමිත නව පනතේ වැඩ කටයුතු සියයට අසූවකින් පමණ අවසන් බවයි. කිසිසේත්ම තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය නොකරන බවද ඔහු පැවසීය. රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධව තැපෑල ඉදිරියට ගෙන යන බවද සඳහන් කළ ශාන්ත බණ්ඩාර මහතා මේ වර්ෂයේ තැපැල් කාර්යාල ගණනාවක් සොරුන් විසින් බිඳ දමා ඇති බවත්, තැපැල් කාර්යාලවල ආරක්ෂාව කෙරෙහි කැබිනට් මණ්ඩලයේද අවධානය යොමු විය යුතු බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.