සිනමා කලාකරුවන්ට පිදෙන ගෞරවනීයම උපහාරය වන ජනාධිපති සම්මාන උලෙළ පිරිමැසුම්දායකව සංවිධාන කළ යුතු යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“2023 – ජනාධිපති සිනමා සම්මාන උලෙළ“ එළඹෙන 14 වැනිදා සවස 6:30 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන අතර එහි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී සම්මාන උලෙළේ සංවිධායක කමිටුවේ නිලධාරීන්ට අමාත්‍යවරයා විසින් උපදෙස් දුන්නේ සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ කලාකරුවන් වෙනුවෙන් පැවැත්වෙන ඉහළම සම්මාන උලෙළ වන ජනාධිපති සිනමා සම්මාන උලෙළේදී සම්මානයට පාත්‍රවන සහ ඊට සහභාගි වන කලා ශිල්පීන්ට ඉහළම ගෞරවය හිමිවන ආකාරයට සම්මාන උලෙළේ සංවිධාන කටයුතු කළ යුතු බවයි. එමෙන්ම වසර හතරකට පසුව මේ වසරේ පැවැත්වෙන ජනාධිපති සිනමා සම්මාන උලෙළේදී මෙරට සිනමා කලා ශිල්පියකුට ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන ස්වර්ණසිංහ සම්මානය සමඟ මීට පෙර සම්මාන උලෙළවලදී පිරිනැමූ මූල්‍ය ත්‍යාගයට වඩා වැඩි මුදලක් පිරිනැමීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

එමෙන්ම රටේ පවතින ආර්ථික අර්බුදය හා මූල්‍ය දුෂ්කරතා වාතාවරණය යටතේ හැකිතාක් පිරිමැසුම්දායී ආකාරයට, අත්‍යවශ්‍ය දේ සඳහා පමණක් වියදම් කරමින් සම්මාන උලෙළේ කටයුතු සංවිධාන කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දෙන ලදි.

මෙවර සම්මාන උලෙළේදී සමස්ත සම්මාන 53 ක් සඳහා රුපියල් මිලියන 7.1ක මුදල් ත්‍යාග ලබාදීමට නියමිතය. 2019 සහ 2020 වසරවල තිරගත වූ චිත්‍රපට 42 ක් අතරින් තෝරාගන්නා චිත්‍රපට වෙත මේ සම්මාන පිරිනමනු ඇත.

පසුගිය සමයේ රට මුහුණ දුන් කොවිඩ් වසංගත තත්ත්වය ඇතුළු ආර්ථික අර්බුදය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ ජනාධිපති සිනමා සම්මාන උලෙළ මේ වසරේදී පවත්වමින් සිනමා ක්ෂේත්‍රයේ නිරත ශිල්පීන්ට දිය හැකි ඉහළම ගෞරවය, උපරිම ආකාරයෙන් ලබාදීම මෙවර සම්මාන උලෙළේ අරමුණයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, ජාතික චිත්‍රපටි සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහත්වරුන්ද, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ජනාධිපති කාර්යාලයේ උසස් නිලධාරීන් ඇතුළු සංවිධායක කමිටුවේ නිලධාරීන් පිරිසක් මේ සාකච්ඡාවට එක්ව සිටියහ.