දකුණු ආසියා කලාපය තුළ වර්ධනය වන ආර්ථික ශක්තිය ප්‍රයෝජනයට ගැනීමට කලාපයේ රටවල් එක්ව ක්‍රියා කිරීමේ අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඔහු මේ අදහස් පළ කළේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පෙරේදා (18) පැවති YPO Colombo Experience: Rediscover the Pearl සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

දකුණු ආසියානු කලාපයේ නව ආර්ථික පරිවර්තනයක් උදෙසා වන සිය දැක්ම මෙහිදී ඉදිරිපත් කළ ජනාධිපතිවරයා කලාපයේ රටවල් අතර ආර්ථික සහයෝගිතාව ඉහළ නැංවිය හැකි නව ආකෘතියක් ද යෝජනා කළේය. මාලදිවයිනේ නව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ තමා අතර මාලේ නුවරදී පැවැත්වුණු ද්විපාර්ශ්වික සාකච්ඡා පිළිබඳවද මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඒකාබද්ධ සංචාරක කලාපයක් ඇති කිරීම වෙනුවෙන් සමීප සහයෝගිතාවකින් කටයුතු කිරීමට එහිදී සාකච්ඡා වූ බවද අනාවරණය කළේය. එසේම ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳවද අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරගකාරි සහ ඩිජිටල් ආර්ථිකයක්, හරිත ආර්ථිකයක් මෙන්ම බලශක්ති පරිවර්තනයක් ඇති කිරීම එහි ප්‍රධාන අරමුණු ලෙස පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව කලාපීය භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, ඉහළ ආදායම් ලබන සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය, කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සහ ඉඩම් හිමිකාරිත්වය පිළිබඳ වන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පිළිබඳවද අදහස් දැක්වීය. ඒ අනුව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා ගත් වැදගත් පියවරක් ලෙස අක්කර මිලියන 2ක පමණ භූමි ප්‍රමාණයක්, එම ඉඩම් හිමි ගොවීන්ට සින්නකරව පැවරීමට රජය තීරණය කර ඇති බවද හෙතෙම සඳහන් කළේය. එසේම මහා පරිමාණ නවීන කෘෂිකාර්මික ව්‍යවසායන් ඇති කිරීම වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් පිළිබඳවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

කෘත්‍රිම බුද්ධිය (AI) වෙත ප්‍රවේශ වීම ඇතුළු තාක්ෂණික ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් රජය මේ වන විටත් අරමුදල් වෙන් කර ඇති බවද පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් නිර්මාණය කරමින් තමිල්නාඩුවේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඇති විය හැකි කාර්මීකරණය පිළිබඳවද මෙහිදී අදහස් දැක්වීය.

එමෙන්ම බංග්ලාදේශය, මියන්මාරය, කාම්බෝජය, ලාඕසය සහ නැඟෙනහිර හා බටහිර අප්‍රිකා කලාපයේ රටවල ඇති නව ආයෝජන අවස්ථා ගවේෂණය කරමින්, ඒ රටවලද ආයෝජනය සඳහා ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් දිරිමත් කිරීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින ඒකාබද්ධව, කලාපයේ සංචාරක ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් ඇති කිරීම පිළිබඳවද මෙහිදී යෝජනා කළ ජනාධිපතිවරයා ඒ සඳහා නේපාලයද එක් කර ගත හැකි බව සඳහන් කළේය. එසේම බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් අතර සංචාරක කලාපයක් ඇති කිරීමේ සැලසුම් පිළිබඳ අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය කැරිබියන් දූපත්වලට වඩා විශාල විකල්පයක් වනු ඇති බවද සඳහන් කළේය.

කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) ඇතුළත් වීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට අයදුම් කර ඇති බව කියා සිටි ජනාධිපතිවරයා ඉන්දියාව සහ බංග්ලාදේශය සමඟ පුළුල් ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කරගැනීම ඇතුළුව දැනට ශ්‍රී ලංකාව සිදු කරමින් සිටින වෙළෙඳ සාකච්ඡා හා නව ගිවිසුම් පිළිබඳවද මෙහිදී තරුණ ව්‍යවසායකයන් දැනුවත් කළේය. කලාපය තුළ පවතින ආර්ථික හැකියා පිළිබඳ සුබවාදිව අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අපේක්ෂා කරන කලාපීය ආර්ථික වර්ධනය ඇති කරගැනීමට සක්‍රියව දායක වන ලෙසද තරුණ ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

YPO කලාපීය සාමාජිකත්වය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ