ශ්‍රී ලාංකේයීය ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පුළුල් ප්‍රවර්ධනයක් හා ජනහිතකාමී සේවාවක් බවට පත් කිරීමට කටයුතු කළ ප්‍රවීණ, ප්‍රකට ජනමාධ්‍යවේදීන් දසදෙනකුට ජාතියේ උපහාර පිදීම හා ජාතියේ හරසර ප්‍රණාම පිදීමේ මහෝත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සැඳෑභාගයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 68 වැනි අභිමානවත් ත්‍රිත්ව මංගල මහෝත්සවය ලෙස පැවැති මේ අවස්ථාවට ඉන්දුනීසියාවේ මෙරට සිටින තානාපතිනිය, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය ඇතුළු සාර්ක් කලාපීය ජනමාධ්‍ය සංගම්වල ජනමාධ්‍යවේදීහු ද එක්ව සිටියහ.

චිරාගත සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව උලෙළ ඇරඹි අතර, සංගමයේ නිර්මාතෘ ඩී.එෆ්. කාරියකරවනයන්ගේ ඡායාරූපයකට මල්මාලා පැලඳවූහ.

ඉන්දියානු වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ සභාපති හේමන්ත තිවාරි මහතා ඇතුළු නියෝජිත පිරිස ඉන්දියානු සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාව පිළිගැනීමක්ද මෙහිදී සිදුවිය.

මෙහිදී විශේෂයෙන් ප්‍රවීණයන් දසදෙනකු අගය කිරීම, මාධ්‍යකරණයට පිවිසෙන ආධුනිකයන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා “අන්ද්‍රා චන්ද්‍රපාල ලේඛකත්වය හා සන්නිවේදන ශිෂ්‍යත්ව අරමුදල” රුපියල් ලක්ෂ 10කින් ආරම්භ කිරීම, සිසිර විජේසිංහ සුබසරණ භාරය රුපියල් ලක්ෂ 10ක පරිත්‍යාගයක් තුළින් ආරම්භ කිරීම, ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ පූර්වගාමී ක්‍රියාකාරීන් 14 දෙනකුට සම්මාන ප්‍රදානය කිරීම සම්භාවනීය අමුත්තන් අතින් සිදු විය.

මහාචාර්ය සඳගෝමී කෝපරහේවා මහතා විශේෂ දේශනයක් පැවැත්වූහ.

මෙම සම්මානනීය අභිමානවත් උලෙළ අවස්ථාවේදී ප්‍රවීණ මාධ්‍යවේදිනී දිනමිණ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ පුෂ්පා රොවෙල් මහත්මිය ඇතුළු දසදෙනකු ඇගැයීමට පාත්‍ර විය. ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ සභාපති සිසිර විජේසිංහ, එහි උත්තරීතර අනුශාසක මුදිත කාරියකරවන, මහලේකම් මාධ්‍යවේදී කුරුළු කෝජන කාරියකරවන, භාණ්ඩාගාරික ඩබ්ලිව්. ඒ. චාමින්ද කරුණාරත්න, හිටපු යුද හමුදාපති ‍ජෙනරාල් දයා රත්නායක, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව යන මහත්වරු ද එක්ව සිටියහ.

මෙම විචිත්‍ර හා ජාතියේ කළගුණ සැලැකීමේ අගය කියාපෑ උත්සව අවස්ථාවට ආගමික, ජනමාධ්‍ය, ආරක්ෂක හා සාමාජික ක්ෂේත්‍රවල නම රැන්දූ කීර්තිමත් පිරිස් හා ප්‍රණාමයට පාත්‍රවූ ප්‍රවීණයන්ගේ ඥාතීහු, ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.