දැන් ලෝක බලවතා ලෙස ඉදිරියට පැමිණ ඇත්තේ චීනයයි.

සංචාරකයන්ගේ පැමිණීම අඩු වීම අපේ ආර්ථිකයට හානිකරයි.

‘මැදපෙරදිග අර්බුදය’ යනුවෙන් ප්‍රකට ඊශ්‍රායල් – පලස්තීන ගැටුමේ වර්තමානය ඊට බලපෑ පසුබිම ඔස්සේ දකිමින් සහ උද්ගතව ඇති තත්ත්වය සෙසු ලෝකයටත් විශේෂයෙන් අප වැනි රටවලටත් බලපාන ආකාරය පිළිබඳ ප්‍රවීණ විදෙස් විත්ති විචාරක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සමඟ කළ සංවාදයකි මේ.

• මැදපෙරදිග අර්බුදයේ වර්තමාන ස්වභාවය හඳුනාගැනීම සඳහා ඊට හේතු වූ පසුබිම සැකෙවින් පැහැදිලි කළ හැකිද?

මැදපෙරදිග අර්බුදය වශයෙන් හඳුන්වන ඊශ්‍රායල් – පලස්තීන යුද ගැටුමේ වර්තමාන ස්වභාවය ගැන අපට කතා කරන්න වෙන්නෙ වත්මන් ලෝක රටාව තුළ දැකිය හැකි බෙදීමත් සමඟමයි. අධිපතිවාදී රටවල් මේ ගැටුමේදී සිටි‍න්නෙ ඊශ්‍රායලය සමඟ‍යි. අමෙරිකාවේ වඩා ප්‍රගතිශීලි නායකයෙක් ලෙස ප්‍රතිරූපයක් ඇති බර්නි සැන්ඩර්ස් පවා හමාස් ප්‍රහාරය හෙළා දකින තරම්ම ප්‍රබලව ඊශ්‍රායලයේ ප්‍රහාර ගැන කතා කරන්නේ නෑ. අපේ රටෙත් තිස් අවුරුද්දක් තිස්සේ පැවැති බෙදුම්වාදී යුද්ධයේදී LTTE මරාගෙන මැරෙන ප්‍රහාරවලින් නිරායුධ සිවිල් වැසියන් 50 – 60 ඇතැම් විට සිය ගණනින් මිය යද්දී අද හමාස් ත්‍රස්තවාදී ප්‍රහාරවලට විරෝධය පළ කරන අමෙරිකාව සහ බටහිර රටවල් LTTEය සුරතල් කළ බව අපට මතකයි. LTTE ත්‍රස්තවාදීන් විමුක්තිකාමීන් හැටියටයි හැඳින්වූවේ. හමුදාව සිදු කළ ප්‍රහාර ඉහළින්ම හෙළා දකින ගමන් ත්‍රස්තවාදීන් සිවිල් වැසියන් ඉලක්ක කර සැලසුම් සහගතව සිදුකළ ප්‍රහාර ගැන ඔවුන් නිහඬ වුණා. කතා කළා නම්, ඒ බොහෝ පහත් හඬකින්. මේ දෙබිඩි පිළිවෙත, බෙදීම ඒ නිසා අපට පැහැදිලියි.

මේ අර්බුදයේ වර්තමානය දකිමින් මේ ගැන අදහස් දක්වන අපේ රටෙත් බොහෝ අය, මෙය සිදුවුණේ ඔක්තෝබර් 07 වැනිදා සිදු වූ හමාස් ප්‍රහාරයත් සමඟ වැනි දෘෂ්ටියක සිටින බව පෙනෙනවා. ඒ කියන්නෙ ඊශ්‍රායලය නිවැරදි කියන්න වගේ හමාස් සංවිධානය රොකට් 5000ක් විතර ඊශ්‍රායලයට එල්ල කරලා, ආරක්ෂක වැට කපාගෙන රටට ඇතුළු වෙලා කුරිරු ලෙස මිනිසුන් මරා දැම්මා. සිය ගණනක් ප්‍රාණ ඇපයට ගත්තා. එසේ කිරීමෙන් වුණේ, මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබීම නොවෙයි. එය තවත් අවුලට පත්වීමයි. මේ අන්දමින් ඔක්තෝබර් 07 වැනිදා ප්‍රකාශයට පත්වුණේ අවුරුදු 75කට වැඩි කාලයක් තිස්සේ නොවිසඳී ඇති ඉතා බරපතළ මානුෂීය ඛේදවාචකයක්.

• මේ ප්‍රශ්නය තරමක් යටපත් වී තිබී හමාස් ප්‍රහාරයත් සමඟ යළි ඉහළට එසැවුණා කියන්න පුළුවන්ද?

21 වැනි සියවස ආරම්භය දක්වාම ලෝකය මේ ප්‍රශ්නය ගැන ඉහළින් කතා කළා. අවධානයෙන් සිටියා. ඒත්, එයින් පසුව එය යට ගියා. ඇත්තටම සිදු වුණේ එය යටපත්වීම නොවෙයි, යටපත් කිරීම. එ.ජාතීන්ගේ න්‍යාය පත්‍රයේ පවා එවක්පටන් ඊට ලැබුණෙ පහළ ස්ථානයක්. අමෙරිකාවට සහ බටහිර බලවතුන්ට එසේ කළ හැකි වුණේ ඒ වන විට සමාජවාදී කඳවුර, නොබැඳි රටවල් දුර්වල වී සිටි නිසා. පළමු ලෝක සංග්‍රාමය වන විට පලස්තීනය ඔටෝමන් අධිරාජ්‍ය යටතේ තිබුණෙ. ආතර් බැල්ෆර් සාමිවරයා 1917.11.02 දාතමින් යුද නායකයෙක් වූ රොක්සඩයිල්ඩ්

වෙත ලිපියක් ලිව්වා. මේක වචන 67ක ලිපියක්. ඔහු ඉන් දැනුම්දුන්නේ පලස්තීනයේ යුදෙව්වන් වෙනුවෙන් “ඔවුන්ගේම දේශයක්” (National Home) තනා දෙන බවයි. බ්‍රිතාන්‍ය තමන්ට අයිති නැති රටක අන්‍ය ජාතියක් වෙනුවෙන් එහෙම දේශයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය මතු වුණේ නෑ. පළමු ලෝක සංග්‍රාමයට පසුව බිහි වූ ජාතීන්ගේ සංගමයෙන් (League of Nations) බ්‍රිතාන්‍ය පලස්තීන පාලනය කරන්න අවසර පත්‍රයක් (Mandate) ඉල්ලා සිටියා. අද මේ ප්‍රශ්නය ගැන කතා කරන අය කියනවා බ්‍රිතාන්‍ය පලස්තීනය පාලනය කළේ මේ බලපත්‍රය යටතේ කියලා. ඒත්, ඔවුන් එය ලබා ගත්තෙ ලොව සියලු රටවල් එක්වී බිහි කර ගත් සංවිධානයකින් නොවේ. තමන්ගේ වැරැදි සුජාතභාවයට පත් කිරීම සඳහා නිර්මාණය කරගත් ජාතීන්ගේ සංගමයෙන් (League of Nations) මේ කාලයේදී යුරෝපය හා තවත් රටවල සිටින යුදෙව්වො විශාල වශයෙන් පලස්තීනයට පැමිණියා. හිට්ලර් විසින් සිදු කළ මහා පරිමාණ යුදෙව් ඝාතන වගේම යුදෙව් විරෝධයත් ඊට පිටුබලයක් වුණා. සයොන්වාදයේ ප්‍රධාන චරිතයක් වන ‘පියදෝර් හර්ස්වෙල්ට්’ 1987 දී ‘යුදෙව් රාජ්‍ය’ කියලා පොතක් ලිව්වා. යුදෙව් සංක්‍රමණය සිදු වූ ආකාරය එයිනුත් පැහැදිලියි. 1920 ගණන්වල මුලදී 10%ක් වූ පලස්තීනයේ යුදෙව් ජනගහනය දෙවන ලෝක සංග්‍රාම අවදිය නිමා වන විට 25%ක් පමණ වී තිබුණා. මේ පිළිබඳ සොයා බලමින් 1936දී බ්‍රිතාන්‍ය‍ෙය් ‘p’ කොමිෂම නිර්දේශ කළේ පලස්තීනයට සිදු වන යුදෙව් සංක්‍රමණ සීමා කළ යුතු බව. ඒත්, මේ තීරණයට එරෙහිව යුදෙව්වන් කෝලාහල ඇති කළා. ඔවුන් මේ වන විට මාන බලමින් සිටියේ අලුත් රාජ්‍යයක් තැනීමටයි.

1947දී මේ ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ සංවිධානයට යොමුකළ විට 1.8, 1 –(181) යෝජනා සම්මුතිය මඟින් පලස්තීනය බෙදා වෙන්කර ඊශ්‍රායලය හා පලස්තීනය යනුවෙන් රාජ්‍ය 2ක් බිහිකිරීමේ විසඳුම ලබා දුන්නා. එහෙත් මෙහිදී සිදු වූයේ පලස්තීනය ඉතා අසාධාරණ ලෙස බෙදීයාම එහිදී 35%ක් වූ යුදෙව්වන්ට භූමියෙන් 56%ක් හිමි වූ අතර, පලස්තීන, අරාබි ආදී සෙසු සියලු දෙනාට හිමිවූයේ 42%ක් පමණයි. 3%ක් ජෙරුසෙලමට ලබා දෙමින් එය අන්තර්ජාතික අධීක්ෂණය යටතේ තැබුවා. බ්‍රිතාන්‍ය පලස්තීන පාලනය සඳහා වූ මැන්ඩේට් එක අත්හැරියේ මෙයින් පසුව තමයි. මේ තමයි අර්බුදයේ මුල. මැදපෙරදිග ගැටුම නිසා පලස්තීනුවන් 750,000ක් සරණාගතයන් ලෙස බටහිර ඉවුර, ගාසා තීරය මෙන්ම ලෙබනනය, සිරියාව වැනි රටවල ද කොටු වුණා. 1967 සුප්‍රකට “සයදින යුද්ධයේදි” ඊශ්‍රායලය අරාබි ප්‍රදේශ රැසක් යටත්කර ගත්තා. නැගෙනහිර ජෙරුසෙලම, සිනායි කතර, සිරියාවේ ගෝලාන් කඳුකරය වැනි තැන්. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අංක 242 යෝජනාව සම්මත කරමින් එලෙස අල්ලා ගත් ප්‍රදේශවලින් ඉවත්වන ලෙසට ඊශ්‍රායලයට දැනුම් දුන්නත් එය සිදු වූයේ නෑ. පළමු ඊශ්‍රායල් – අරාබි යුද්ධයෙන් ජය ගත් ඊශ්‍රායලය සිය ජනපද තවත් පුළුල් කිරීමයි කළේ. ඒ නීතිවිරෝධී ව්‍යාප්තිය තවමත් සිදු වෙනවා.

මෙවැනි පසුබිමක පලස්තීනයේ සටන්කාමී කණ්ඩායම් බිහිවුණා. “ෆාටා” ඉන් එකක්. මේ සියලු කණ්ඩායම් එක්කර ගනිමින් තමයි, යසර් අර්ෆත්ගේ නායකත්වයෙන් පලස්තීන විමුක්ති සංවිධානය (PLO) බිහි කළේ. මුලදී ඊශ්‍රායලය විනාශ කළ යුතුය යන ස්ථාවරයේ සිට කටයුතු කළත් පසුව ඔවුන් ඉන් ඉවත් වුණා. 1987දී ‘හමාස් සංවිධානය’ බිහි කළේම යුදෙව් රාජ්‍ය විනාශ කිරීමේ අරමුණින්.

කෑම්ප් ඩේවිඩ් සම්මුතියට එළඹුණේ 1978දී. 1993දී ඔස්ලෝහිදී බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇති කර ගත් සම්මුතිය යටතේ “පලස්තීන ස්වයං පාලන අධිකාරිය” බිහිවීම සිදු වුණා. පලස්තීනය යනුවෙන් අප හඳුන්වන්නේ එම පාලනයයි. මේ වන විට පලස්තීනුවන් මිලියන 2.3ක් දිගින් කි.මී. 41ක් සහ පළලින් කි.මී. 10ක් සහිත ගාසා තීරයේ ජීවත්වනවා. එය ලොව දුප්පත්කම වැඩිම භූමි ප්‍රදේශයක්. විරැකියාව 75%ක් පමණ. මන්දපෝෂණය, දරිද්‍රතාවය ප්‍රබල ගැටලු ලෙස තිබෙනවා.

• නොබැඳි, මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් හැටියට ශ්‍රී ලංකාව මුල පටන්ම පලස්තීනය වෙනුවෙන් පෙනී සිටියා. මේ ස්ථාවරය ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?

පලස්තීනුවන්ට ද තමන්ගේම රාජ්‍යයක් තිබිය යුතුය යන්න සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ පාලන සමයේ පටන්ම ශ්‍රී ලංකාවේ ස්ථාවරය වුණා. මේ වන විට උද්ගතව ඇති තත්ත්වය දෙස බැලුවත් එය තමයි කල්පවත්නා විසඳුම. කෙසේ නමුත්, ඊශ්‍රායලයේ ස්ථාවරය වෙලා තියෙන්නේ අන්තිම හමාස් ත්‍රස්තවාදියත් මැරුම් කෑ යුතු බවයි. අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියා සෑම හමාස් සාමාජිකයෙක්ම මිය යා යුතුයි කියලා. 1967 සය දින යුද්ධයේ දී වගේම අදත් අමෙරිකාව ඊශ්‍රායලයට උදවු කරනවා. පසුගියදා සිදු වූ හමාස් ප්‍රහාරයත් සමඟ ජනාධිපති බයිඩන් කියා සිටියේ අ‍ෙමරිකාව පර්වතයක් මෙන් නොසැලී සිටින බවයි. අපි මේ ප්‍රශ්නේ දිහා බලන්න ඕන පලස්තීන මිනිස්සුන්ගෙ සපත්තුවට බැහැලා කියලා හිටපු අ‍ෙමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා කියා තිබුණා. ලිබියාව විනාශ කළේ ඔබාමා පාලනය යටතේයි. ඒත්, ඔහු බයිඩන්ට වඩා වෙනස් කෝණයකින් මේ දෙස බලන බවක් තමයි පෙනෙන්නේ.

• ශිෂ්ට සම්පන්න ලෝකයට හමාස් ප්‍රහාරය අනුමත කළ නොහැකියි, වගේම ඊශ්‍රායලයේ ප්‍රතිචාර හමුවේ දෑස වසා සිටිය නොහැකියි. කෙසේ වුවත් අධිපතිවාදී රටවල් මෙයින් එක් පාර්ශ්වයක ප්‍රහාර අනුමත කරන බවක් පෙනෙනවා නේද?

සටනක දී දෙපාර්ශ්වයේ සටන්කරුවන් මිය යාමට වඩා මේ තත්ත්වය වෙනස්. හමාස් ප්‍රහාරය ශිෂ්ට සම්පන්න ලෝකය විසින් හෙළා දකිනවා. සංගීත සාදයකට සහභාගි වී සිටි තරුණ තරුණියන් මෙන්ම කුඩා දරුවන් පවා ඔවුන් මරා දැම්මා. මේ ප්‍රහාරයේ ම්ලේච්ඡත්වය, අශිෂ්ටත්වය ඒකක 10ක් නම්, ඊශ්‍රායල් ප්‍රතිචාරයේ කුරිරු බව ඒකක 1000ක් තරම්.

ඔක්තෝබර් 13 වැනිදා උතුරු ගාසා තීරයේ ලක්ෂ 11ක් පමණ පලස්තීනුවන්ට පැය විසි හතරක් තුළ දකුණ බලා යන ලෙසට ඊශ්‍රායලය දැනුම් දුන්නා. එසේ පිටව යන අයටත් ගුවනින් සහ බිමෙන් පහර දුන්නා.

• ශ්‍රී ලංකා රජය LTTE යට එරෙහිව සටන් කරද්දී LTTE මෙන් නොව රජය සංයමයෙන් ක්‍රියා කළ යුතු යැයි එදා කී අය අද ඊශ්‍රායල් රජය ද එසේ සංයමයෙන් ක්‍රියා කළ යුතු යැයි නොකියන්නේ ඇයි?

2009 දී මානුෂීය මෙහෙයුමේ අවසන් හරියේ දී ශ්‍රී ලංකාවට පැමිණි ඩේවිඩ් මිලිබෑන්ඩ් හා බර්නාඩ් කුෂ්නර් දෙපළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කිව්වෙ දෙමළ ජනයා මිය යන නිසා යුද්ධය නතර කළ යුතු බවයි. පලස්තීනයේ අහිංසක දරුවන්, කාන්තාවන් ඇතුළු සිවිල් වැසියන් මිය යන නිසා ප්‍රහාර නැවැත්විය යුතු යැයි අද ඔවුන් ඊශ්‍රායල් අගමැති නෙතන්යාහුට නොකියන්නෙ ඇයි? මේවායින් පෙනෙන්නේ අධිපතිවාදී රටවල දෙබිඩි පිළිවෙතයි. මේ ප්‍රශ්නයේ මූලය ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් බිහි වීම බව පැහැදිලියි. අද ඔවුන් ක්‍රියා කරමින් සිටින්නේ මූලය නොතකා හරිමින්. අ‍ෙමරිකාව මේ අර්බුදය ගැන කතා කරද්දී රුසියානු යුක්රේන ගැටුම ඈඳාගන්නේ ඇයි කියන එකත් මේ අනුව අපට තේරුම් ගන්න පුළුවන්.

• ශ්‍රී ලංකාව යුද්ධය අවසන් කර වසර දාහතරකට පසුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී තවමත් අපට එරෙහිව චෝදනා නැ‍ඟෙනවා. ඇතැම් බටහිර නාළිකා අසත්‍ය ප්‍රචාර පවා කළා. නමුත් ඊශ්‍රායලය සම්බන්ධයෙන් ඔවුන් ඒ තීව්‍රතාවයෙන්ම හඬ නොනඟන්නේ ඇයි?

බටහිර මාධ්‍ය මේ ගැටුම වාර්තා කරන ස්වරූපය දෙස බැලුවාම එය ඉතා පැහැදිලියි. ඔවුන්ගේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ පලස්තීනයට පක්ෂ ප්‍රවෘත්ති 5% නම් ඊශ්‍රායලයට පක්ෂව එය 25%ක්. ලෝකයේ ව්‍යාපාරික මාධ්‍ය ඒකාධිකාරිය ප්‍රබලයි. සත්‍ය වාර්තා නොකරනවා පමණක් නෙවෙයි. අසත්‍ය ප්‍රචාර කිරීමත් ඔවුන්ගෙන් සිදු වෙනවා.

• මේ හේතුවෙන් සංචාරක කර්මාන්තයට හා අපේ අපනයනවලටත් යම් බලපෑමක් ඇති විය හැකිද?

මෙවැනි යුදමය වාතාවරණයක් යටතේ සංචාරකයන් සංචරණයට බියක් දැක්වීම ඊට හේතුවයි. සංචාරකයන් පැමිණීම අඩු වීමට එය බලපානවා. අපේ ආර්ථිකයට සංචාරක කර්මාන්තය විශාල ශක්තියක්. මේ වෙද්දී සංචාරක පැමිණීම් වැඩි වෙලා තියෙන්නේ. එසේ තිබියදී එහි විශාල අඩු වීමක් සිදු වුණොත් ඒකත් අපේ ආර්ථිකයට හානිකර අන්දමින් බලපානවා.

අපනයන වෙළෙඳපොළට ඇති විය හැකි බලපෑම ගැනත් අපි සිතිය යුතුයි. මේ රටවල් ආනයන සීමා කිරීමක් කළොත් හරි අපේ අපනයනවලට බාධා ඇති වුණොත් හරි ලැබෙන විනිමය අඩු වීම සිදු වෙනවා. ඒක අපේ ආර්ථිකයට බලපාන කාරණයක්. නිල වශයෙන් ප්‍රකාශ නොකළත් ඊශ්‍රායලයත් න්‍යෂ්ටික බලවතෙක්. යම් හෙයකින් ඔවුන් ඉරානය ඉලක්ක කළහොත් එය ලෝක සාමයට බලවත් තර්ජනයක් වනු ඇති.

• මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව කුමක් කළ යුතු යැයි ඔබ අදහස් කරනවාද?

ශ්‍රී ලංකාව කුඩා රටක්. අපේ ආර්ථිකයත් බොහොම කුඩා එකක්. හැකිතාක් දුරට අපි අපේ සම්පත් උපයෝගී කරගනිමින් නැඟී සිටීම තමයි, කළ යුතු හොඳම දේ. නව ලිබරල් ආර්ථික මොඩලය යටතේ අර්බුදයට ගිය අපි දැන්වත් නිෂ්පාදන ආර්ථිකයකට යොමුවිය යුතුයි. සියල්ල රටින් ගෙන්වීම වෙනුවට ඒ ඒ ක්ෂේත්‍රවල තමන්ට හැකි අයුරින් කාර්යක්ෂම ලෙස නිෂ්පාදන ක්‍රියාවලියට දායක වීම විය යුතුයි.

ආදායම් බෙදී යාමේ විශාල පරතරයක් ඇති බවත් අප පිළිගත යුතු වෙනවා. එය ඉතා අසාධාරණ තත්ත්වයක්. ඇති – නැති පරතරය විශාලයි. එසේම දීර්ඝ කාලයක් තිස්සේ අප හුරු වී සිටින්නේ බටහිර පරිභෝජන රටාවටයි. බටහිර රටවල් එවැනි පරිභෝජන රටාවකට යොමු වුණේ සෙසු රටවල සම්පත් කොල්ලකෑමෙන්. රෝහල්වල බෙහෙත් හිඟයක් ගැනත් ඖෂධ මිල ඉහළ යාම ගැනත් කතා කරන අතර අපි V8 ගෙන්විය යුතු ද කියලා යථාර්ථවාදීව හිතන්න අවශ්‍යයි. බාහිර සාධක පාලනය කරන්න අපට පුළුවන්කමක් නෑ. ඒත්, මේ කියපු දේවල් ගැන නම් අපට කටයුතු කළ හැකියි.