රජවරුන් මහා සංඝරත්නයට පූජා කළ ඉඩම්, ශාසනය, රටවැසියා හා උතුම් ශිෂ්ටාචාරය පෝෂණය කිරීමට දායක වූ බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

මීරිගම මල්ලැහැවදී පැවති කල්එළිය, වෑබඩමුල්ල ශ්‍රී සුධර්මාරාමාධිපති, සද්ධම්ම කීර්ති, ජිනශාසන සෝභන සද්ධානන්ද, ශාසන සිරි වංශාලංකාර, විචිත්ත භාණක, ශාසන කීර්ති, ශ්‍රී සද්ධර්ම වාගීශ්වර, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටකාචාර්ය, රූපහා සෝරතාභිධාන නාහිමියන් වහන්සේ වෙත උඩරට අමරපුර මහා නිකායේ බස්නාහිර පළාතේ අනුනායක ධුරය පදවිය පිරිනැමීම පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ මහෝත්සවයට පෙරේදා (22) එක් වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
අගමැතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

සම්බුද්ධ ශාසනයේ පැවැත්ම සහ ආරක්ෂාව පිණිස උඩරට අමරපුර මහා නිකාය දායාද කොට ඇති අඛණ්ඩ ගංගාවක් මෙන් නොනවතින ශාසනික දායාදය මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. විදුරවි පරම්පරාව ලක් ඉතිහාසයේ සම්බුද්ධ ශාසනය පමණක් නොව සාහිත්‍යයට, භාෂාවට අමරණීය දායාදයක් ඉටුකළ පරම්පරාවක් බව සිහිපත් කළ යුතුයි. දුෂ්කර කාල පරිච්ඡේදයක් අධිෂ්ඨානයෙන් ගමන් කළ එම පරම්පරාවේ මහා සංඝ පීතෘවරුන් අප ඉතා ගෞරවයෙන් යළි සිහිපත් කරනවා.

උඩරට කියන්නේ අපේ රට පිටරැටියන් විසින් අල්ලාගෙන පොළොවට සමතලා කළ භූමියයි. අවුරුදු 200කට මෙහා අපට ඔප්පු තිබුණෙ නැහැ. ඔප්පු හැදුවේ සුදු පාලකයන් ඇවිල්ලා අපේ ගම් නියම් ගම් අල්ලගෙන. රජවරුන් මහා සංඝරත්නයට පූජා කළ පෙනෙන තෙක් මානයේ භූමි භාගයන් ශාසනය පෝෂණය කරන්නටත්, රටවැසියා පෝෂණය කරන්නටත් ඒ වගේම උතුම් ශිෂ්ටාචාරයක් බිහිකරන්නටත් දායාද වුණා.

අද දින අනුනායක ධුරය ලබා මේ ප්‍රධාන වගකීම භාර ගන්නා අපේ සෝරත හාමුදුරුවො ශාසනයේ පැවැත්මට සහ ආරක්ෂාවට විශාල සේවයක් ඉටු කර ඇත. මේ ගමන සුවිශේෂ බාධාවන් මැද නමුත් බොහොම කැපවීමෙන්, ගැඹුරු අවබෝධයකින් ජනතාව සමඟ කටයුතු කරන්නට පුළුවන් වීම මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහා නායක, මහෝපාධ්‍යාය, කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති අභිධාන මහානායක මාහිමියන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, හර්ෂණ රාජකරුණා, හිටපු කථානායක කරු ජයසූරිය, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ මහත්වරුන් ඇතුළු ආරාධිතයන් සහ දායක දායිකාවන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.