ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉරානය දුන් සහාය පසසයි

ආර්ථික-වෙළෙඳ-දේශපාලන සහයෝගිතාව වර්ධනය කර ගැනීමට දීර්ඝ සාකච්ඡා

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්වරු අතර ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (24) පැවැති නිල හමුව අතරතුර දෙරට අතර අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තැබිණි

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජාතික පුස්තකාලය හා ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ අතර ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙයට අත්සන් තැබූ අතර ඉරාන ඉස්ලාම් ජනරජය වෙනුවෙන් එරට සංස්කෘතික කටයුතු අමාත්‍ය මොහොමඩ් මෙහ්දි ඉස්මයිල් (Mohammad Mehdi Esmaeili) මහතා අත්සන් තැබීය. ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාව සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ සංස්කෘතික හා ඉස්ලාමීය මාර්ගෝපදේශන අමාත්‍යාංශය අතර සිනමා කර්මාන්තයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ඉරාන ඉස්ලාම් ජනරජය වෙනුවෙන් එරට සංස්කෘතික කටයුතු අමාත්‍ය මොහොමඩ් මෙහ්දි ඉස්මයිල් (Mohammad Mehdi Esmaeili) මහතා ඊට අත්සන් තැබීය. ශ්‍රී ලංකාව සහ ඉරානය අතර මාධ්‍ය සහ සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ඉරාන ඉස්ලාම් ජනරජය වෙනුවෙන් ඉරානයේ බලශක්ති අමාත්‍ය අලි අක්බාර් මෙහෙරා බියන් (Ali Akbar Mehra Biyan) මහතා ඊට අත්සන් තැබීය.

ශ්‍රී ලංකාව සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර සංස්කෘතික, විද්‍යාත්මක, තාක්ෂණික සහයෝගිතා, ජනමාධ්‍ය, තරුණ සහ ක්‍රීඩා වැඩසටහනට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අත්සන් තැබූ අතර ඉරාන ඉස්ලාම් ජනරජය වෙනුවෙන් එරට සංස්කෘතික කටයුතු අමාත්‍ය මොහොමඩ් මෙහ්දි ඉස්මයිල් (Mohammad Mehdi Esmaeili) මහතා අත්සන් තැබීය. ඉරාන සමුපකාර මණ්ඩලය සහ ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලයේ සභාපති ජී.වී. සරත් වීරසිරි මහතා සහ ඉරාන ඉස්ලාම් ජනරජය වෙනුවෙන් එරට සංස්කෘතික කටයුතු අමාත්‍ය මොහොමඩ් මෙහ්දි ඉස්මයිල් (Mohammad Mehdi Esmaeili) මහතා ඊට අත්සන් තැබීය. ජනාධිපතිවරුන් දෙදෙනා ඉදිරිපිටදී මෙම ගිවිසුම් සඳහා අත්සන් තැබුණු අතර ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉරාන ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉතා මිත්‍රශීලී ලෙස පිළිගනු ලැබීය. ඉරාන ජනාධිපතිවරයා වෙනුවෙන් ආචාර වෙඩි මුර 21ක් සහිත ත්‍රිවිධ හමුදා වර්ණ ධජ ගණයන්ගෙන් සමන්විත සම්මාන මුරයක් ද පිළිගන්වනු ලැබිණි. නායකයන් විසින් දෙරටේ දූත පිරිස හඳුන්වාදීමෙන් අනතුරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉරාන ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස ජනාධිපති කාර්යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය. සිය සංචාරය සනිටුහන් කරමින් ජනාධිපති රයිසි මහතා ජනාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

නායකයන් අතර සුහද කතාබහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා 1962 වසරේදී ආරම්භ කෙරුණු අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට පෙර සිටම දෙරට අතර සබඳතා පවත්වා ඇත. අතීත පර්සියානු යුගයේදී දෙරට අතර සබඳතා ප්‍රධාන වශයෙන් පැවැත්වූයේ හෝමූස් සමුද්‍ර සන්ධිය මඟිනි. ඉරානය 1975දී කොළඹදී සිය තානාපති කාර්යාලය ආරම්භ කරන ලද අතර ශ්‍රී ලංකාව 1990 ජනවාරි මාසයේදී ටෙහෙරාන් නුවර සිය තානාපති කාර්යාලය පිහිටුවන ලදි. දෙරටම සෑම ක්ෂේත්‍රයකම සමීප සහයෝගිතාවක් පවත්වාගෙන යන අතර බහුපාර්ශ්වික සංසදවලදී එකිනෙකා කෙරෙහි සහයෝගයෙන් කටයුතු කරයි. දෙරට අතර අතීතයේ සිට පවතින මෙම ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයෝ සාකච්ඡා කළහ. එසේම පසුගිය කාලසීමාව තුළ මුහුණදුන් ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ලබාදුන් සහයෝගය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පිරිනැමීමට ද මෙය අවස්ථාවක් කර ගත්තේය.

ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රකෘතිය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන ජනාධිපතිවරයාව දැනුවත් කළ අතර ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රගතිය සහ සෞභාග්‍යය පිළිබඳ ජනාධිපති රයිසි මහතා මෙහිදී සිය දැඩි විශ්වාසය පළ කර සිටියේය.

එමෙන්ම දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීම, දේශපාලන සහ සංස්කෘතික සහයෝගිතාව වර්ධනය කර ගැනීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් දෙරටේ උනන්දුවක් පවතින ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව ද නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් ද ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.