ලොව ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ඉහළ නංවමින් එය රටේ ආර්ථිකයට ප්‍රශස්ත අයුරින් දායක කරගැනීම සියලු දෙනාගේ වගකීම බවත්, මෙරට පුහුණු වෛද්‍යවරුන් හෝ හෙදියන් 100 දෙනකු අතුරින් 30ත් 40ත් අතර ප්‍රමාණයක් රට හැර යෑම සිදු වන අතර එය අඛණ්ඩව සිදු වීම රටට යහපත් තත්ත්වයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඔහු මේ බව පැවසුවේ නෙදර්ලන්ත රජයේ DRIVE සහන ණය ක්‍රමය යටතේ ඉදි කරන ලද පේදුරුතුඩුව මූලික රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට පසුගියදා (22) එක් වෙමිනි.

මෙරට වෛද්‍ය සහ හෙද අවශ්‍යතාව සපුරාලීම සඳහා වාර්ෂික බඳවාගැනීම් ඉහළ නංවන ලෙස තමා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයටද උපදෙස් දුන් බවත්, ඒ පුහුණු කිරීම් සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රවර්ධනය කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

හරිත සරසවියේ වෛද්‍ය පීඨය සඳහා ශික්ෂණ රෝහලක් පවත්වාගෙන යෑමේ අයිතිය දී තිබෙන බවත් ලයිසියම් කැම්පස්ද එවැනි ඉල්ලීමක් සිදු කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේම කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක් කරගනිමින් නවීන වෛද්‍ය ක්‍රමයක් පවත්වාගෙන යෑම පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කළේය. යාපනය සහ පේදුරුතුඩුව ජනතාව වෙනුවෙන් මේ වෛද්‍ය පහසුකම් සලසා දීම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී නෙදර්ලන්ත රජයට සිය ස්තුතිය පිරිනැමීය. හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය, මූලික සත්කාර ඒකකය, විකිරණ අංශය, දැඩි සත්කාර ඒකකය, ශල්‍යාගාරය, නොමේරු ළදරු සත්කාර ඒකකය, ශල්‍ය වාට්ටුව, මාතෘ වාට්ටුව, වඳ සත්කාර ඒකකය, ඩයලිසිස් ඒකකය, රසායනාගාරය ඇතුළු පේදුරුතුඩුව මූලික රෝහලේ සංවර්ධන කටයුතු සඳහා නෙදර්ලන්ත රජයේ DRIVE සහන ණය ක්‍රමය යටතේ රුපියල් බිලියන 4ක් පිරිනමා තිබේ.

උත්සව සභාව ඇමතූ රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කළේ පේදුරුතුඩුව මූලික රෝහලේ සංවර්ධන කටයුතු උතුරු පළාතේ සෞඛ්‍ය සේවාවේ ප්‍රගතියේ සුවිශේෂ සන්ධිස්ථානයක් බවයි. DRIVE ව්‍යාපෘතිය යටතේ ඒ වෙනුවෙන් අවශ්‍ය මූල්‍යමය ණය ආධාර සහාය සහ උපකාර දුන් නෙදර්ලන්ත රජයටත්, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලයටත් ස්තුතිවන්ත වන බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

පේදුරුතුඩුව මූලික රෝහල වෙත ලැබී ඇති මේ නවීන සෞඛ්‍ය සේවා පහසුකම් රටේ සෞඛ්‍ය සේවාවේ දියුණුව වෙනුවෙන් කාර්ක්ෂමව හා ඵලදායිව ප්‍රයෝජනයට ගත යුතු බව මෙහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සඳහන් කළාය. එසේම මේ රෝහල ජනතා යහපත වෙනුවෙන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට හැකි සෑම ආකාරයකින්ම එක්ව කටයුතු කරන ලෙසද ආණ්ඩුකාරවරිය උතුරු පළාත් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.

නෙදර්ලන්ත තානාපතිනි බොනී හොබැක් (Bonnie Horbach) මහත්මිය මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ සියලු ශ්‍රී ලාංකීක ජනතාවට සමාන අයිතිවාසිකම් සලසා දීම සහ ප්‍රවර්ධනය කිරීම සංහිඳියාවේ කොටසක් බවත්, එය සෞඛ්‍යය සහ ආරක්ෂාව වැනි මූලික අයිතිවාසිකම්වලින් ආරම්භ වන බවත්ය. මීට වසර හයකට පමණ පෙර උතුරු පළාතේ රෝහල් හතරක් සංවර්ධනය කිරීම වෙනුවෙන් VAMED ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ගිවිසුමකට අත්සන් තැබු බව සිහිපත් කළ තානාපතිනිය මේ රෝහල් හතර ගොඩනැංවීමට ඇස්තමේන්තුගත මුළු වටිනාකම යුරෝ මිලියන 16ක් බවත්, එම යුරෝ මිලියන 16න් 25%ක් එනම් යුරෝ මිලියන 4ක් ප්‍රදානයක් ලෙස පිරිනැමීමට තීරණය කළ බවත් සඳහන් කළාය.

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, රාජ්‍ය අමාත්‍යවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්ලිංගම් සිද්ධාර්ථන්, හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්ම මහත්මීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර අලෙවිකරණ අවස්ථා පහසු කිරීම සඳහා වෙබ් යෙදුම් නිර්මාණය කරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අදාළ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුව වෙත දුන් උපදෙස් අනුව නිර්මාණය කර ඇති ‘ෆාම් ටු ගේට්’ වෙබ් යෙදුම දියත් කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (22) පලාලි ගුවන් හමුදා කඳවුරේදී සිදු විය. මෙරට ගොවීන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විශාල වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේදී ඔවුන් වෙහෙස මහන්සි වී ලබාගන්නා ඵලදාව සඳහා හොඳම මිලක් සහ ප්‍රතිලාභ අත් කරගැනීමට ‘ෆාම් ටු ගේට්’ වේදිකාවක් වනු ඇති අතර, කුඩා ගොවීන් ගෙවතු වගාකරුවන් සහ කුඩා කර්මාන්ත ව්‍යවසායකයන් අතරමැදියන්ගේ බලපෑම්වලින් තොරව ඍජුවම පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ කරමින් සවිබල ගැන්වීම මෙමඟින් සිදු කෙරේ.