මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක්කරන උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය එළඹෙන 24 වැනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වෙයි. අමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 529ක් මෙම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තු කර තිබෙන අතර එයින් සියයට 85ක ප්‍රමාණයක් ඉරාන රජය විසින් සපයා තිබේ.

2010 වසරේදී ඇරැඹි මෙම ව්‍යාපෘතියෙන් අදියර දෙකක් යටතේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක් එක් කිරීමට නියමිතව තිබෙන අතර වැල්ලවාය, තණමල්විල, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉඩම් අක්කර 20,000කට පමණ වාරි ජලය සපයයි. ඊට අමතරව ලුණුගම්වෙහෙර ජලාශය දක්වා සහ කුඩා වැව් 40කට ජලය සැපයීමට ද අපේක්ෂා කරන අතර එම ජලයෙන් කොටසක් ගෘහස්ථ, පානීය සහ කාර්මික අවශ්‍යතා සඳහා ද යොදා ගැනීමට නියමිතයි.

උමාඔය පහළ නිම්න සංවර්ධනය යටතේ කුඩා වැව් 14ක වැඩ නිම කර ඇති අතර තවත් වැව් 15ක් සංවර්ධනය ආරම්භ කර තිබේ. තවත් කුඩා වැව් 67ක ප්‍රතිසංස්කරණ සිදු කර තිබෙන අතර උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය මහවැලි ව්‍යාපාරයෙන් පසු මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතිය ලෙස ඉතිහාසයට එක්වෙයි.