ගරු ජනාධිපතිතුමා විසින් වරින්වර ඉදිරිපත් කළ යෝජනා හා ඒ අනුව, නිරිමාණය වූ වත්මන් රජයේ ප්‍රතිපත්ති හා ප්‍රමුඛතා යටතේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කර ඇත. ඒ අනුව, රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, නීතීඥයන්, විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ නියෝජිතයන් සහ කර්තෘ සංසඳයේ නියෝජිතයන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් මේ සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පත් කර ගනිමින් ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමේ මූලික කටයුතු ආරම්භ කරන ලද අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මේ සඳහා මූල්‍ය දායකත්වය ලබා දෙන ලදී.

මෙම විද්වත් කමිටුව සහ මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශවකරුවන් ආවරණයවන පරිදි යොමුගත කණ්ඩායම් (Focus Group) අංශ 07ක් ඔස්සේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීම සිදුවිය.

  • විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල (Academics)
  • ජනමාධ්‍යවේදී සංගම් (Journalist Association)
  • අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන (Right Based Organization)
  • විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන් (Industrial)
  • උතුරු පළාත් මාධ්‍යවේදීන් (Northern Province Journalist)
  • නැ‍ගෙනහිර පළාත් මාධ්‍යවේදීන් (Eastern Province Journalist)
  • පාසල් මාධ්‍ය සංගම් (School Media Club)

පළමු යොමුගත කණ්ඩායම් සාකච්ඡාව මාධ්‍ය අධ්‍යයන පීඨ සහ අංශ ස්ථාපිත ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාලයන් නියෝජනයවන පරිදි මාධ්‍ය විෂය සම්බන්ධ ආචාර්යවරුන් සඳහා 2023 සැප්තැම්බර් මස 18 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සාර්ථකව පවත්වන ලදී.

දෙවන යොමුගත කණ්ඩායම් සාකච්ඡාව ක්ෂේත්‍රයට අදාල ක්‍රියාකාරී මාධ්‍ය කණ්ඩායම් සහ සංවිධානවල සහභාගීත්වයෙන් 2023 සැප්තැම්බර් මස 25 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සාර්ථකව පවත්වන ලදී.

තෙවන යොමුගත කණ්ඩායම් සාකච්ඡාව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන ඉලක්ක කර ගනිමින් 2023 ඔක්තෝබර් මස 02 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සාර්ථකව පවත්වන ලදී.

සිව්වන යොමුගත කණ්ඩායම් සාකච්ඡාව කර්මාන්තයේ නියැලෙන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනයන්හි ප්‍රධානීන් වෙනුවෙන් 2023 ඔක්තෝබර් මස 09 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සාර්ථකව පවත්වන ලදී.

මීලඟ යොමුගත කණ්ඩායම් සාකච්ඡාව උතුරු පළාත නියෝජනයවන මාධ්‍යවේදීන් සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 2023 ඔක්තෝබර් මස 25 දින පවත්වන ලදී.

නැගෙනහිර පළාත නියෝජනය කරමින් මීලඟ යොමුගත කණ්ඩායම් සාකච්ඡාව 2023 ඔක්තෝබර් මස 26 දින මඩකලපු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

අවසන් යොමුගත කණ්ඩායම් සාකච්ඡාව පාසල් මාධ්‍ය සංගම් නියෝජනය කරමින් උසස් පෙළ මාධ්‍ය විෂය හදාරන සිසුන් 80කගේ පමණ සහභාගීත්වයෙන් 2023 නොවැම්බර් මස 01 දින රජ‍යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පවත්වන ලදී.

මෙම විධිමත් ක්‍රමවේදයන් ඔස්සේ සියලු පාර්ශවකරුවන්ගෙන් ලබා ගන්නා ලද අදහස්/ යෝජනා වඩා විධිමත් සහ ප්‍රායෝගික ක්‍රමවේදයන් අනුගමනය කරමින් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ දැනට නිරීක්ෂණයවන පොදු දුර්වලතාවයන් මඟ හරවා ගනිමින් මාධ්‍ය ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කිරීම අරමුණු කර ගනිමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කාර්යය මේවන විට සාර්ථකව සිදු කරමින් පවතී.