ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම පිළිබඳ සිය රටේ ප්‍රශංසාව පුද කර සිටින බව නවසීලන්ත කථානායක ගෙරී බ්‍රවුන්ලී මහතා පැවැසීය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ගෙරී බ්‍රවුන්ලී මහතා අතර අරලියගහ මන්දිරයේ පෙරේදා (10) පැවැති හමුවේ දී නවසීලන්ත කථානායකවරයා මේ බව සඳහන් කළේය.

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳ සඳහන් කළ අගමැතිවරයා,

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගිතාව ඉහළ නංවන ලෙසත්, කොළඹ ක්‍රමය යටතේ වැඩිදුර සහාය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

1893දී නවසීලන්තයට සහ 1931දී ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලබාදෙමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පරම කැපවීම පිළිබඳ සාඩම්බර වාර්තාවකට දෙරට හිමිකම් කියන බව අගමැතිවරයා සිහිපත් කළේය.

1958දී කොළඹ ක්‍රමය ප්‍රදානයක් යටතේ මහරගම ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය විද්‍යාලය පිහිටුවීම පිළිබඳ අගමැතිවරයා නවසීලන්තයට ස්තුතිය පළ කළ අතර, එය වැඩිදියුණු කිරීම සඳහා සහාය ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම පිළිබඳ ප්‍රශංසා කළ කථානායකරවයා තම රටෙහි අඛණ්ඩ සහයෝගිතාව සහතික කළේය.

සංචාරක, වරාය සහ නාවික, ධීවර හා කෘෂිකර්මය ඇතුළු ක්ෂේත්‍ර රැසක විශාල විභවයක් ශ්‍රී ලංකාවට ඇති බව කථානායකවරයා පැවැසීය.

කිරි නිෂ්පාදන අංශය, රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඇති විය හැකි සහයෝගිතාව පිළිබඳ ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

මේ අවස්ථාවට නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාලෝස් වියුන්ග්, ඇන්ඩි ෆොස්ටර්, කුෂ්ලා ටැන්ගරී – මැනුවල්, ලෝරන්ස් ෂු-නැන්, නිකෝ හෙනෙවෙල්ඩ්, නවසීලන්ත පාර්ලිමේන්තු උපදේශක සහ මහකොමසාරිස් ඩේවිඩ් පයින්, රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශන දෙනිපිටිය, යදාමිණි ගුණවර්ධන, අගමැති ලේකම් අනුර දිසානායක මහත්වරු එක්ව සිටියහ.