ප්‍රවාහන ඇමැතිවරයා ලෙස මෙයට දායක වෙන්න ලැබීම සතුටක් – ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන

මෙතෙක් පර්යේෂණ නොවූ සීතාවක, පර්යේෂකයන්ට තෝතැන්නක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

අගමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (21) සීතාවක කෞතුකාගාරය පොදු ජන අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.මේ කෞතුකාගාරය මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් මිලියන 50ක වියදමින් සහ නාවික හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් අවිස්සාවේල්ල නගරයේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ගොඩනැඟිල්ලක ඉදිකර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙලෙස ද කීවේය.

“පෞඩ ඉතිහාසයක තොරතුරු අනාගත පරම්පරාවට දායාද කරන ස්ථානයක් මේ කෞතුකාගාරය. ලොව ආක්‍රමණය කරන්න සවිය තිබූ බටහිර හමුදාවන් පරාජය කළ මායාදුන්නේ සහ සීතාවක රාජසිංහ රජවරුන් ලොව සොලවපු රාජ්‍ය නායකයන්. අපේ රටට පළමුව ආවේ ලන්දේසීන්. ඔවුන්ගේ නම් ගම් ටිකක් ගත්තා මිසක් භාෂාව ඉගෙන ගත්තේ නෑ. ඊට පස්සේ පෘතුගීසින් ආවාම තරමක් භාෂාව ව්‍යාප්ත වෙලා නම් ගම් ටිකක් එකතු වුණා මිසක් ගැඹුරින් භාෂාව ඉගෙන ගත්තේ නැති නිසා ඒ භාෂාව අපේ රටින් මැකී ගියා.

ලෝකයේ පළමු වෙනි අධිරාජ්‍යයා මෙල්ල කළ අය විදියට අපි ආඩම්බරයි. සුදු ආණ්ඩුව ආවේ පස්සේ. පළමු වැනියාට ආවේ පෘතුගීසීන්. සුද්දා මේ රටට එනකොටත් අපි හැම අතින්ම දියුණු ජාතියක්. අපිව යටත් කරගන්න කොටත් දියුණු ජාතියක්. ගංගාවල්, තොටුපොළවල් හරහා රටේ ස්වාභාවික වස්තු නිෂ්පාදනය ලෝකවාසීන් සමඟ ගනුදෙනු කරන්න අපේ ආදි ජනයා පියවර ගෙන තිබුණා. ඒවා සොයාගෙන පැමිණි අය ඊටත් වැඩි ප්‍රමාණයක් අත්පත් කරගැනීමට දැරූ උත්සාහය ව්‍යක්ත කර අපේ නිදහස පිණිසයි මේ රණවිරුන්, රාජ්‍ය නායකයන් සාර්ථකව සටන් කළේ. රණවීරත්වය පමණක් නෙවෙයි, උපාය, පාලන තන්ත්‍රයේ විවිධ ක්ෂේත්‍ර සඳහා පිවිසුණු ඒ ක්‍රියාවලිය පිළිබඳව තවමත් අධ්‍යයනයක් කර නෑ. එදා ගැඹුරින් එවැනි අධ්‍යයනයක් කරන්න අපට ඕනෑකම තිබුණේ නෑ. සීතාවක කියන්නේ අපේ රටේ ඉතිහාසය ගැන ආඩම්බර විය හැකි කාලපරිච්ඡේදවලින් එකක්. මේ කෞතුකාගාරය ඒ ආඩම්බරයේ කොටසක්. සීතාවක නගර සභාව ආඩම්බරයේ මාණික්‍ය පලඳගන්න. ආඩම්බරයේ මාණික්‍ය මේ මහාචාර්යවරුන් ඔබට ගෙනත් දී තිබෙනවා.”

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

“අද සීතාවක පුරවරයට ඓතිහාසික වැදගත්කමකින් යුත් දිනයක්. අපේ රටේ දීර්ඝ කාලීන ප්‍රෞඪ ඉතිහාසයේ ගමන් මඟ ඉදිරියට ගෙනයෑමට සීතාවක රාජධානිය ඉෂ්ට කළ කාර්යය අනාගත පරම්පරාවේ දරුවන්ටත්, අධ්‍යයනය කරන අයටත් දැක බලා ගැනීමට මෙවැනි කෞතුකාගාරයක් පිහිටුවීමට දායක වූ සියලු දෙනාට අපේ ගෞරවය සහ ස්තූතිය පුද කරනවා. කෞතුකාගාරය ස්ථානගත කිරීමට ස්ථානයක් සොයා ගැනීම පිළිබඳ ගැටලුවේදී ප්‍රවාහන විෂය භාර ඇමැතිවරයා ලෙස මටත් දායකවන්න ලැබීම ගැන සතුටුයි. ලංකා ආණ්ඩුවේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් මේ පෞරාණික ගොඩනැඟිල්ල සහ ඉඩම් කොටස පවරාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. එයින් තමයි මේ ඉඩම සහ ගොඩනැඟිල්ල මේ උතුම් කර්තව්‍ය සඳහා දෙන්න හැකි වුණේ.”

ඇමැති විදුර වික්‍රමනායක මහතා,

“අපේ කෙරුවාවල් අපිම කියන්න හොඳ නෑ. ඒක සිංහලයාගේ ගතියක් නෙමේ. අපි වැරදුණු තැන් නැවත නැවත හිතට අරගෙන නැවත වරදින් නැති වෙන්න හරි ගමනක් යන්න හරි වැඩක් කරන්න බලන්න ඕනේ. අපි හැමෝම එක මිටට ඉඳලා මේ රට මෙතැනින් එහාට ඉදිරියට ගෙන යන්න ඕනේ. ඩිජිටල් යුගයක් කරා යන ගමනේදී අපේ උරුමයන් පැත්තකට දාන්න හොඳ නෑ.”

මහා සංඝරත්නය, ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු පූජකවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන යදාමිණී ගුණවර්ධන, සුදත් මංජුල, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.