මාධ්‍ය උපමාන හා මැතිවරණ වියදම් නියාමනය පිලිබඳව අනුරධපුර මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් දැනුවත් කිරීමේ වැඩසහටනක් අනුරධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පසුගියදා (07) පැවැත්විණි. අනුරාධපුරයෙන් ආරම්භ වූ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකම පැවැත්වීමට නියමිත යි.

මෙම වැඩසටහනේ දී විද්‍යුත් මාධ්‍ය ආයතන, වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය පාලකයින් සඳහා වන උපමාන පිළිබඳව  මෙන්ම මුද්‍රිත මාධ්‍ය සදහා බලපවත්නා උපමාන පිළිබඳව පැහැදිලි කිරිම හා සාධාරණ හා නිදහස් මැතිවරණයක් සඳහා මාධ්‍ය උපමාන ක්‍රියාත්මක කළයුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කරනු ලැබූයේ, මැතිවරණ කොමිෂන් සභාවේ පර්යේෂණ හා සැලසුම් අධ්‍යක්ෂ චන්න පී ද සිල්වා මහතා විසිනි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මැතිවරණය සම්බන්ධයෙන්  කටයුතු කරන ආකාරය හා එහිදී මාධ්‍යවේදීන් වෙනුවෙන් දක්වන සහය පිලිබඳව කතා කළේ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා යි.

ඉදිරි මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති සූදානම මෙන්ම ඡන්දදායක සංඛ්‍යාව ඇතුළු සංඛ්‍යා දත්තයන් සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා අදහස් පළ කළේ ය.

අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කේ. මුගුන්දන්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එල්.පී. තිලකරත්න, අනුරාධපුර ප්‍රාදේශිය ජනමාධ්‍යවේදීන්, මැතිවරණය හා සම්බන්ධ නිලධාරින්  පිරිසක්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන් හි මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරින්, පාසල් කිහිපයක මාධ්‍ය විෂය උගන්වන ගුරු භවතුන්  කිහිපදෙනෙකු, රජරට විශ්වවිද්‍යාලයේ මාධ්‍ය විෂය හදාරණ විද්‍යාර්ථින්, රජරට මාධ්‍ය පාසලේ සිසුන්, පොලිස් නිලධාරින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.