ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය සන්නිවේදන ඩිප්ලෝමා හා ඩිජිටල් මාධ්‍යවේදී ඩිප්ලෝමා පාඨමාලා සාර්ථක ලෙස හදාරා අවසන් කළ සිසු සිසුවියන් වෙනුවෙන් ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ උත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඕකිඩ් පරිශ්‍රයේදී අද (09) පස්වරු 1.00 ට පැවැත්වේ. ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා ඇතුළු ලේක්හවුස් අධ්‍යක්ෂ මණ්ඩලයේත්, ඉහළ කළමනාකාරීත්වයේත් සහභාගිත්වයෙන් හා තවත් සුවිශේෂී ආරාධිත අමුත්තන් රැසකගේත් සහභාගිත්වයෙන් උත්සවය පැවැත්වේ. මෙම ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේදී මාධ්‍ය සන්නිවේදන හා ඩිජිටල් මාධ්‍යවේදී ඩිප්ලෝමා පාඨමාලා සාර්ථක ලෙස අවසන් කළ සිසු සිසුවියන් 20 දෙනකු සඳහා ඩිප්ලෝමා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමට නියමිතය. 2022 වසරේ සැප්තැම්බර් 26 වැනි දින ආරම්භ කෙරුණු ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියට මේ වසරේ දී වසර දෙකක්ද සම්පූර්ණ වන අතර අද දින පැවැත්වෙනුයේ එහි දෙවැනි ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ උත්සවයයි.

ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය විසින් මෙම ඩිප්ලෝමා පාඨමාලා ද්විත්වය සංවිධාන කිරීමට අමතරව දමිළ මාධ්‍යයෙන්ද මාධ්‍ය සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇති අතර රූපවාහිනී හා ගුවන්විදුලි නිවේදක, ප්‍රවෘත්ති නිවේදක, වැඩසටහන් නිවේදක, හඬකැවීම් හා හඬපාලනය, ප්‍රතිභාන්විත රංගනය, මංගල ඡායාරූපකරණය, ප්‍රසිද්ධ කථනය, වාස්තු විද්‍යා, රාජ්‍ය බදු, යූ ටියුබ් නිර්මාණකරනය, කෙටි චිත්‍රපට නිර්මාණකරනය වැනි විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ එක්දින වැඩමුළු ගණනාවක්ද මේ වන විට සංවිධාන කර තිබේ.

අද දින පැවැත්වෙන ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ උත්සවයේදී ආරාධිත ප්‍රමුඛ දේශනය මහාචාර්ය අරුණ ශාන්ත මහතා විසින් සිදු කිරීමට නියමිතය.