කොමිසම සතුව වෙනමම අත්දැකීම් හා දැනුමෙන් පිරිපුන් කණ්ඩායමක් ඉන්නවා

දිස්ත්‍රික් මට්ටමෙන් දැනුම්වත් කිරීම් වෙනුවෙන් කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා

ජනමාධ්‍ය උපමාන ඇතුළත් ගැසට් පත්‍රයෙහි වැඩි ඉඩක් සමාජ මාධ්‍ය වෙනුවෙන්

කොමිෂන් සභාව ඉදිරි ජනාධිපතිවරණයට වගේම පසු මැතිවරණ සඳහාත් හොඳ සූදානමකින් පසු වෙනවා

මෙවර ජනාධිපතිවරණ සමයේදී සමාජ මාධ්‍ය ජාල හැසිරීම කෙබඳුවේද? ඇතැමුන් පෙන්වා දෙන්නේ පුද්ගලික වශයෙන් මෙන්ම පක්ෂ වශයෙන් ප්‍රචාරණයේදී එකිනෙකා විවේචනය, අපහාස කිරීම් ආදියත් වෙනදා මෙන් මේ ඡන්දයේදීත් වන බව සහ ඉදිරියටත් එය එසේ විය හැකි බවය. ඒ කෙසේ වුවත් ජනමාධ්‍ය සඳහා මැතිවරණ කොමිෂන් සභාව මඟින් නිකුත් කළ, රජයේ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙන, ජනමාධ්‍ය ආචාර ධර්ම, උපමාන සමාජ මාධ්‍ය සඳහා ද අදාළ වග මැතිවරණ කොමිෂන් සභාවේ පෙන්වා දීමකි. අපි දැන් ඒ පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජ්‍ය කොමසාරිස් (මැතිවරණ ආරවුල් නිරාකරණ) පියුමි ආටිගලගෙන් වැඩිදුරටත් කරුණු විමසමු.

කවදත් මැතිවරණ කාලසීමාවලදී ජනමාධ්‍ය හරහා උපරිම ප්‍රචාරයක් ගැනීමට අපේක්ෂකයන් පසුබට වෙන්නේ නැහැ. සමාජ මාධ්‍ය ද ප්‍රබලවී ඇති මෙකලටත් එය එසේමද ?

ඔව්, ඇත්තෙන්ම. ඒත්, අද වන විට බොහෝ ජනමාධ්‍ය ආයතන සතුවත් සමාජ මාධ්‍ය ගිණුම් තිබෙනු හඳුනා ගත හැකියි. ඒ හැරෙන්නට වෙනත් බොහෝ දෙනකුත් කුඩා කණ්ඩායම් ආදී වශයෙන් සමාජ මාධ්‍ය ගිණුම් ආරම්භ කර ඇති වගත් හොඳින් පෙනෙන්නට තිබෙන කරුණක්. ඒ ඇතැම් ඒවා ජනමාධ්‍ය ආචාර ධර්මවලට එකඟව කටයුතු කරනවාද කියන කාරණය ගැන සමාජයේ පුළුල් කතාබහක් ඇතිවී තිබෙනු හඳුනාගත හැකියි. ඒ කෙසේ වෙතත්, කලෙක සිටම මැතිවරණ කොමිෂන් සභාව මඟින් ජනාධිපතිවරණ, මහ මැතිවරණ ආදී ඡන්ද කාලවලදී සමාජ මාධ්‍ය නිරීක්ෂණ කටයුතු පිළිබඳ හොඳ අවධානයකින් පසු වෙනවා. ඒ සඳහා කොමිසම සතුව වෙනමම අත්දැකීම් හා දැනුමෙන් පිරිපුන් කණ්ඩායමක් වෙනවා. ඒ අනුව අපේක්ෂකයන්ට හිතා මතා අපහාස කිරීම් ආදී කරුණුවලට අදාළව ඉදිරි පියවර ගත හැකියි. විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය ආයතන සඳහා කොමිෂන් සභාවේ නිර්දේශ නියෝග වශයෙන් බල පැවැත්වෙනවා. ඒ අනුව එම ආයතනවලින් කෙරෙන වැරදිවලට අදාළව ලැබෙන පැමිණිලිවලට අදාළව කටයුතු කෙරෙනවා. ඒ හැරෙන්නට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මඟින් කෙරෙන මැතිවරණ ප්‍රචාරක වැඩසටහන්, ප්‍රවෘත්ති ආදිය දිනපතා මැතිවරණ කොමිෂන් සභාව මඟින් නිරීක්ෂණය කෙරෙනවා. කෙටියෙන් කියනවා නම්, රාජ්‍ය, පුද්ගලික සියලු මාධ්‍ය ආයතන සඳහා කොමිෂන් සභාවෙන් ඉදිරිපත් කෙරුණු ජනමාධ්‍ය මාර්ගෝපදේශ, උපමාන අදාළයි.

තවදුරටත් විස්තර කරමුද ?

ඉකුත් වර්ෂ 2019 ජනාධිපතිවරණය, 2020 මහ මැතිවරණයේදීත් එය එසේමයි. වි‍ශේෂයෙන්ම පිටතින් එන පැමිණිලි බොහොමයක් සමාජ මාධ්‍ය මඟින් මැතිවරණ නීති කඩ කිරීම හා බැඳී තිබුණා. මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්, ස්වේච්ඡා කණ්ඩායම්, සිවිල් සමාජය ආදියෙන් ඒ පැමිණිලි ලැබුණු බවත් පෙනෙන්නට තිබෙනවා. ඉතින්, මේ කරුණු සැලකිල්ලට ගෙන සියලු ජනමාධ්‍ය ආවරණය වන පරිදි මැතිවරණ සමය වෙනුවෙන් ප්‍රකාශයට පත් කර තිබෙන, ජනමාධ්‍ය උපමාන ඇතුළත් ගැසට් පත්‍රයෙහි වැඩි ඉඩක් සමාජ මාධ්‍ය වෙනුවෙන් වෙන් කරන්නටත් කටයුතු කර තිබෙනවා. ඒ පිළිබඳ සියලු ජනමාධ්‍ය ආයතන ප්‍රධානින්, ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමටත් කටයුතු කර තිබෙනවා. කොළඹදී වගේම, පිට පළාත්වලදීත් එය එසේමයි. විශේෂයෙන් දිස්ත්‍රික් මට්ටමෙන් ඒ දැනුම්වත් කිරීම් සඳහා කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. ඉතින්, ඒ පිළිබඳ දැනුවත්ව ඉදිරි සියලු කටයුතුවලදී මැතිවරණ නීති කඩ නොකොට, මාධ්‍ය ආචාර ධර්ම අනුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් වෙනවා. එනම්, මේ මාධ්‍ය නියාමනය, මර්දනයක් නොව, ජනමාධ්‍ය ඉටු කරන මෙහෙවර හඳුනා ගෙන එහි අගය ද වටහා ගනිමින්, සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රයත්න දැරීමක් බවයි.

බොරු ප්‍රචාර, මඩ ගැසීම් ගැන නිතර අසන්නට ලැබෙනවා ?

අනෙක් අතට, වඩාත් වැඩිපුර ගැටලුකාරී තැනක් වන්නේ ‘දුශ්’ තොරතුරුයි. වැරදි, අසත්‍ය, කොටස් එක්කර හිතාමතා සකස් කරන ලද තොරතුරු ඊට අයත්. මෙවැනි දේ ජනමාධ්‍යවලට වඩා සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන වග බොහෝ විට ජනතාවගෙන් අසන්නට ලැබෙන්නක්. ඒ අනුව දුශ් තොරතුරු මෙහිදී වැඩි අවධානයක් යොමු වන කරුණක් වග අවධාරණය කළ හැකියි. එහෙත් මැතිවරණ කොමිෂන් සභාවට පමණක් තනිව එකවර හෝ පහසුවෙන් දුශ් තොරතුරු හඳුනා ගත නොහැකියි. එහි සත්‍ය, අසත්‍යතාව හරිහැටි පැහැදිලි කර ගැනීමට කලක් ගත වෙනවා. එහෙත්, කලක් ගත වුණත් කොමිෂන් සභාව ඒ පිළිබඳ ඇති තතු හරි හැටියෙන් තහවුරු කර ගත යුතුමයි. එහිදී වෙනත් රාජ්‍ය ආයතනවල සහාය ලබා ගැනෙනවා. අවශ්‍ය වූ විටදී, පුද්ගලික අංශයේ සහයෝගයත් ඊට ගැනෙනවා. ඇත්තෙන්ම, එය පුළුල්, සංකීර්ණ ක්‍රියාවලියක්. එහෙත් ඒ හා සම්බන්ධ පුළුල් දැනුමක් හා අත්දැකීම් ඇති පිටස්තර විශේෂඥ කණ්ඩායම් සම්බන්ධ කර ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව ඒ කාර්යයේ නියැළෙනවා. එවැනි පුළුල් විමර්ශනයකින් අනතුරුවයි දුශ් තොරතුරකට අදාළ නිශ්චිත ක්‍රියාමාර්ග කෙරෙහි යොමු වෙන්නේ. එවිට අදාළ තොරතුර, ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය ජාලවලින් ඉවත් කිරීමට කටයුතු කරනවා. එය ප්‍රසිද්ධ කෙරුණු තැනැත්තන්ට, ආයතනයට එරෙහිව ඉදිරි පියවර ගැනීමටත් ඒ කෙරෙහි නීති ක්‍රියාත්මක කරන වෙනත් රාජ්‍ය ආයතන මුලින් දැනුම්වත් කිරීමටත් එහිදී කොමිෂන් සභාවට පුළුවන්. එය නොතකා හරින්නේ නම් ඉදිරි පියවර ගැනීමට කොමිෂන් සභාවට බලතල තියෙනවා.

එහෙත් මෙයින් සමාජ මාධ්‍ය ජනාධිපතිවරණ ප්‍රචාරණය කෙරෙහි යොදා ගැනීම වරදක් බවට ප්‍රකාශ කෙරෙන්නේ නැහැ. එහෙත් ඒ ප්‍රවර්ධනය කිරීම් සදාචාරාත්මක අයුරින් විය යුතු බවටයි මෙයින් අවධාරණය කරන්නේ. එසේම, එමඟින් තවත් අපේක්ෂකයකුට අපහාස කිරීමක්, අවැඩක්, අගතියට පත් වීමක් නොවන්නටත් ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය වග බලා ගත යුතුයි. එය එසේ නොවන අවස්ථාවලදී නීති කඩ කිරීම් වන බවක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ නම් ඊට මැතිවරණ කොමිෂන් සභාවට මැදිහත් විය හැකියි. විකෘති කරන ලද පුවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම මෙහිදී බොහෝ විට දක්නට පුළුවන්. එහෙත් ඇතැම් විට ජනමාධ්‍ය, එක දිගටම එම වරද දිගින් දිගටම කළ අවස්ථා පිළිබඳ මෙයින් පෙර ඡන්දවලදී නිරීක්ෂණය වී තියෙනවා. පක්ෂ අනුගාමිකයන්, සහායකයන් ආදින් මේ වැරදි බහුලව කරන බවත් හඳුනාගෙන තියෙනවා. ඉතින් ඒ අනුව මෙවැනි පැමිණිලි මැතිවරණ කොමිෂන් සභාවට මෙවරත් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. එවිට ඒ අනුව ඉදිරි පියවර ගැනීමට අප සූදානමින් පසු වෙනවා.

ඉදිරියේදී ප්‍රචාරණ කටයුතු තවත් පුළුල් විය හැකියි නේද?

බොහෝ විට ජනාධිපතිවරණයට ආසන්න දෙසතිය පමණ වන විට මෙවැනි පැමිණිලි වැඩිපුර ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ මින් පෙර පැවැති මැතිවරණවලදී කොමිෂන් සභාව ලද අත්දැකීම් අනුවයි. ඒ කොහොම වුණත් මැතිවරණ කොමිෂන් සභාව පැමිණිලි ලැබෙන තුරු නොසිට ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීමේ යෙදී සිටිනවා. විශේෂයෙන් ජනමාධ්‍ය ආයතන ප්‍රවෘත්ති විකාශ ආදියේදී අපක්ෂපාතීව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. එහිදී අපේක්ෂකයන් වැඩි ගණනකට සම අවස්ථා සැලසීම කෙතෙක් දුරට ඉටු කරනවාද යන්න රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහාය ගනිමින් අප නිරීක්ෂණය කරනවා. එහිදී ජනමාධ්‍ය ආයතන දක්වන සහාය පිළිබඳ ඔවුන්ට ස්තුති කිරීමටත් මෙය අවස්ථාවක් කර ගන්නවා. විශේෂයෙන් මහජනතාව පොදුවේ මැතිවරණ කොමිෂන් සභාව සමඟ ඉතා සහයෝගයෙන්, තොරතුරු දෙමින් කටයුතු කරනවා. එය ඉතා අගය කළ යුතු කරුණක්.

මුහුණුපොත (facebook)තරමක් තරුණ පරපුරෙන් ඈත් වන වගක් දක්නට ලැබුණත්, සැලකිය යුතු පිරිසක් තවම ඒ ඇසුරේ සිටින වග පැහැදිලියි. එමෙන්ම, ටික් ටොක් (tik tok) සහ ඉන්ස්ටග්‍රෑම් නූතන තරුණ පරපුර බහුලව භාවිත කරන සමාජ මාධ්‍ය මෙවලම් අතුරෙන් කැපී පෙනෙනවා. එසේම, බොහෝ දෙනකු එදිනෙදා ප්‍රවෘත්ති අන්තර්ජාලය, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැන ගැනීමටත් පුරුදුව සිටිනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී ද එය එසේ විය හැකියි. තවද, තරුණ පරපුරේ ඡන්ද කෙරෙන් එහි අවසාන ප්‍රතිඵලයට සැලකිය යුතු මැදිහත් වීමක් කෙරෙන බවත් ඇත්තක්. එසේම නූතනයේ නව යොවුන් පරපුර සමාජ මාධ්‍ය ජාල සමඟ ඉතා සමීපයි. ජනමාධ්‍යවලටත් වඩා ඔවුන් ඒ කෙරෙහි ආකර්ෂණය වන බවත් පෙනෙනවා. ඒ අනුව මැතිවරණ කොමිසම ඒ කෙරෙහිත් නිරන්තර අවධානයෙන් පසු වෙනවා.

නිහඬ කාලය?

මේ මුද්‍රිත, විද්‍යුත් මාධ්‍ය ඡන්ද ප්‍රචාරක කටයුතුවලින් වැළකෙන කාලයක්. එහෙත් මෙකලදීත් අඛණ්ඩව සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂක ප්‍රවර්ධනය කළහොත් ඒ නීති විරෝධීය. මොකද, නොනැවතී මුළු දවස තිස්සේම ඉහතින් සඳහන් කළ සමාජ මාධ්‍ය මෙවලම් ක්‍රියාත්මකයිනේ. ඉතින් එවිට ඒ පිළිබඳත් මැතිවරණ කොමිෂන් සභාව දැඩි අවධානයෙන් පසු වෙනවා.

නවීන තාක්ෂණය තවදුරටත් නිර්මාණශීලීව, උපාය මාර්ගිකව ඡන්ද ප්‍රචාරණයේ යෙදීමට ඉඩ තියෙනවා?

අපි ඒ ගැනත් සෙවිල්ලෙන් ඉන්නේ. විශේෂයෙන් කෘත්‍රිම බුද්ධිය ආදී නව මෙවලම් මෙහිදී යොදා ගත හැකියි. ඒ කටයුතු නිරීක්ෂණය සඳහා කොමිෂන් සභාවේ මෙන්ම ඉන් පරිබාහිරව සිටින, ඒ පිළිබඳ දැනුමැත්තන් යොදා ගැනීමට කටයුතු කර තියෙනවා.

මැතිවරණ කොමිසමට මානව සම්පත් ප්‍රමාණවත්ද?

ඔව්. ඒ ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්. අපට රාජ්‍ය සේවයෙන් අවශ්‍ය පරිදි නිලධාරින් අනියුක්ත කෙරෙන නිසා ඒ පිළිබඳ තදබල ගැටලුවක් නැහැ. ඉතින්, මැතිවරණ කොමිෂන් සභාව ඉදිරි ජනාධිපතිවරණයට වගේම ඉන්පසුව පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහාත් හොඳ සූදානමකින් පසු වන බවත් කිව හැකියි.