පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මුදලට ගිනි අවි දෙකක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, ජනමාධ්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (27) ප්‍රකාශ කළේය.

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (27) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

මන්ත්‍රී ධුරය අහිමි වීමෙන් පසුවද අයිතිකරගත හැකි පරිදි මෙම ගිනිඅවි දෙක ලබා දෙනවා. ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මුදල් ගෙවා එය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. කවරෙකුට වුවද ගෞරවාන්විත මරණයක් ලබා ගැනීමේ අයිතිය තිබිය යුතුයි. තළා පොඩිකර මරා දමන්නට උත්සාහ කරන්නේ නම් තම ආරක්ෂාව වෙනුවෙන් මුදල් ගෙවා එම ගිනිඅවි ලබාගත හැකියි. අරගලය හේතුවෙන් ඇති වූ ව්‍යසනය කිසිසේත් අමතක කළ නොහැකියි.

අරගලය හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සිය ජීවිතය පවා අහිමි වුණා. මහජන නියෝජිතයින් 72 දෙනකුගේ නිවාස සහ දේපොළ ගිනිබත් කළා.

එවන් තත්ත්වයක් යටතේ මෙරට මෙන්ම බංග්ලාදේශය තුළ ඇති වූ තත්ත්වය නැවත වතාවක් මෙරට ඇති නොවේ යැයි කිසිවකුට සඳහන් කළ නොහැකියි.

එබැවින් තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝල වැනි කුඩා ගිනිඅවි දෙකක් මුදල් ගෙවා පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මා එවැනි ගිනිඅවි ලබාගෙන නැහැ.

මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉතිහාසයේ සිටම කුඩා ගිනි අවියක් ලබා ගැනීමේ හැකියාව තිබුණා. ඒ අනුව ගිනිඅවි ලබාගත්ත මන්ත්‍රීවරු ඉන්නවා. නමුත් මම ගිනිඅවියක් ලබාගෙන නැහැ. පිස්තෝලයක් පාවිච්චි කිරීමට මන්ත්‍රීවරුන්ට අයිතිය තිබෙනවා.

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට තවත් ගිනිඅවියක් ලබා දීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ දැයි මාධ්‍යවේදියකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

ඕනෑම අයකුට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය තිබිය යුතුයි. පසුගිය අරගලය සමයේ ඇතිවූ ප්‍රචණ්ඩත්වය යනු ලංකා ඉතිහාසයේ ඇතිවූ කළු පැල්ලමක්. අපගේ පාර්ලිමේන්තුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වධ හිංසා පමුණුවලා ඝාතනය කළා. ව්‍යවස්ථාදායකය නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් 72 දෙනකුගේ නිවාස දේපොළ විනාශ කළා. ජනාධිපතිවරයාගේ පුස්තකාලය, නි‍ෙවස මුළුමනින්ම ගිනිබත් කළා. ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන පාර්ලිමේන්තුව ගිනි තබා විනාශ කර ප්‍රජාතන්ත්‍රවාදය මුලිනුපුටා දැමීමට අරගලයේ නිරතවූ පිරිස උත්සාහ කළා. නිවාස ගිනිබත් කළා.

බංග්ලාදේශයේ මෙම තත්ත්වය මීටත් වඩා දරුණු ලෙස ක්‍රියාත්මක වුණා. ඒ වගේම මහජන නියෝජිතයින් 26ක් ඝාතනය කළා. ප්‍රධාන නිලධාරීන් විශාල පිරිසක් රැකියාවලින් ඉවත් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණ, හමුදා ප්‍රධානීන් ඝාතනය කළා.

එවැනි තත්ත්වයක් අපේ රටේ ඇති නොවෙයි කියා විශ්වාසයක් නැහැ. මොකද ප්‍රචණ්ඩත්වය විවිධ ස්වරූපයෙන් මතු විය හැකියි. ඒ නිසා ආණ්ඩුව තීරණයක් අරන් තිබෙනවා. මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසු අයිති කරගත හැකිවන පරිදි මුදලට ගිනි අවි දෙකක් මන්ත්‍රීවරුන්ට ලබා ගැනීමේ අයිතිය ලබා දෙන්නට. කැමැති අයට මන්ත්‍රී ධුරය අවසන් වුණාමත් තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ප්‍රශ්නයක් තිබෙනවා නම් එය මුදලට ලබාගත හැකියි. ඕනෑම කෙනකුට ගෞරවාන්විත මරණයක් ලබා ගැනීමේ අයිතිය තිබෙනවා. ඇවිත් තලා, පොඩිකරලා මරලා දාන්න උත්සාහ කරනවා නම් ජීවිත ආරක්ෂා කර ගැනීමේ අයිතිය වෙනුවෙන් මුදලට ආයුධ දෙකක් ලබා ගැනීමේ අයිතිය ලබා දී තිබෙනවා. මන්ත්‍රී ධුර අහිමිවීමෙන් පසුවද එවැනි ගිනි අවි දෙකක් ලබා ගන්නට අයිතිය තිබෙනවා.