ජාතික රූපවාහිනිය පැමිණි මඟ බහුතරයක් දෙනා දන්නවා. අතීතයෙන් ලද අත්දැකීම් ඔස්සේ ඉදිරි සැලසුම් සකස් වන ආකාරය ගැන කතා කරමු.

ඉදිරි සැලසුම් ගැන කතා කිරීමේදී ආ ගමන් මඟ ගැනත් සඳහන් කළ යුතුයි. ජාතික රූපවාහිනිය කියන්නේ හතු පිපෙනවා වගේ පටන් ගත් මාධ්‍ය නාළිකාවක් නොවේ. මීට අවුරුදු 43කට පෙර පාර්ලිමේන්තු පනතකින් සම්මත වී, රටේ ජාතික වගකීම් ඉෂ්ට කරන නාළිකාවක් හැටියට ජපන් රජයේ ආධාර ඇතිව පූර්ණ ටෙලිවිෂන් නාළිකාවක තිබිය යුතු සියලුම සම්පත් ඇතිවයි ජාතික රූපවාහිනිය ආරම්භ කරන්නේ. මේ රටේ පුරවැසියන්ට තොරතුරු ලබාදීම, අධ්‍යාපනය ලබාදීම වගේම පවුලේ විනෝදාස්වාද මාධ්‍යයක් හැටියට පවත්වාගෙන යෑම මූලික කරගෙන ජාතික රූපවාහිනිය ආරම්භ කළා. පසුගිය වසර 43ක මාධ්‍ය ඉතිහාසයේ ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉතා විශිෂ්ටයන් බිහි කළ, ඒ අයගේ සේවය ලබා ගත් ආයතනයක්.

මේ ආයතනයෙන් ගමන ආරම්භ කළ අය මේ වෙනකොට ශ්‍රී ලංකාව වගේම ලෝකය පුරා මාධ්‍ය ආයතන එක්ක තරගකාරීව වගේම ජනප්‍රියව කටයුතු කරනවා. ජාතික රූපවාහිනිය කියන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට පුරෝගාමී කාර්යයක් ඉෂ්ට කළ සහ ඉෂ්ට කරමින් ඉන්න මාධ්‍ය ආයතනයක්. ජාතික රූපවාහිනියෙන් හඳුන්වා දුන් වැඩසටහන් තමයි පසුකාලීනව අනෙකුත් මාධ්‍ය ආයතනවලින් අනුකරණය කරන්න පටන් ගත්තෙ. එහෙම තමා මේ අවුරුදු 43 ගෙවී ගිහින් තියෙන්නෙ.

හද රැඳි තැන හතළිස් තුන ලෙසින් ජාතික රූපවාහිනිය සංවත්සරය සමරන්න සූදානම් වන්නේ කෙසේද ?

පසුගිය දශක ගණනාව පුරාම රූපවාහිනී සංවත්සරය සැමරීමේදී ආගමික වතාවත්වලට මුල්තැන දී කටයුතු කර තිබෙනවා. ඒ ආකාරයෙන්ම මේ වතාවේදීත් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පවත්වනවා. ඊට අමතරව අන්‍යාගමික කටයුතුවලත් නිරත වෙමින් ඒ ආගමික නායකයන්ගේ ආශීර්වාදයත් ලබාගන්නවා. ඊයේ (13) සහ අද (14) ඒ කටයුතු සිදු වෙනවා. මේ ආයතනය වෙනුවෙන් තමන්ගේ දැනුම සහ ශ්‍රමය කැප කළ පිරිස මේ සඳහා සහභාගී කරවා ගන්නවා. මේ ආයතනය ගොඩනඟන්න ආධාර කළ ජපානයේ තානාපතිතුමාට ආරාධනා කර තියෙනවා, මේ කටයුතුවලට සම්බන්ධ වෙන්න කියලා.

මේ වසර පුරාවටම රූපවාහිනී නාළිකාවක් හැටියට රූපවාහිනී තිරයේ වැඩසටහන් පෙන්වනවාට අමතරව නව වැඩසටහන් ගණනාවක් සැලසුම් කර තියෙනවා. එහිදී ගමට ගිහින් සමාජයත් එක්ක සම්බන්ධවී වැඩසටහන් ගණනාවක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ යටතේ පාසල් 43ක සිසු දරුවන්ට අභ්‍යාස පොත් දීමට සැලසුම් කර තියෙනවා. මුතුහර සහ අනෙකුත් අධ්‍යාපනික වැඩසටහන් හරහා පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් සකස් කර තියෙනවා. අපි විශ්වාස කරනවා, අනාගතය වෙනුවෙන් කරන හොඳම ආයෝජනය දරුවන් වෙනුවෙන් යමක් සිදු කිරීම කියලා. වසර 43 අපි ආරම්භ කරන්නේම නවතාවකින්. වැඩසටහන්වල අන්තර්ගතය සහ පෙළගැස්ම ඇතුළෙ සමාජයට අලුත් දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

මාධ්‍ය සදාචාරය මේ දිනවල නිරන්තරයෙන් කතාවෙන මාතෘකාවක්. ඒ වෙනුවෙන් විද්‍යුත් මාධ්‍යයක් ලෙස ජාතික රූපවාහිනිය පෙළ ගැහෙන්නේ කොහොමද ?

ජාතික රූපවාහිනිය තමයි තමන්ගේ මාධ්‍ය සදාචාරය පවත්වාගෙන යන ප්‍රධානම නාළිකාව හැටියට අපි විශ්වාස කරන්නෙ. මේකට පොඩි උදාහරණයක් කියන්නම්. මෑතකදී මුස්ලිම් තරුණ දරුවෙක් පැහැරගෙන ගිය සිදුවීමක් මුද්‍රිත වගේම විද්‍යුත් මාධ්‍යවලත් ප්‍රචාරය වුණා. රූපවාහිනී නාළිකාවක් හැටියට අපි විතරයි ඒ දරුවාගේ මුහුණ නොපෙන්වූ එකම නාළිකාව. අපි ලාභ අලෙවිකරණ උපක්‍රමවල යෙදෙන ආයතනයක් නෙමේ. අපි යෙදෙන්නේ වෘත්තීමය අලෙවිකරණයක. ලාභෙට මිනිසුන්ගේ තියෙන හැඟීම් දැනීම්, පෞද්ගලිකත්වය විකුණාගෙන කන මාධ්‍ය සදාචාරයක යෙදෙන ආයතනයක් නෙවෙයි. මම මේ ආයතනයට සම්බන්ධවෙලා බොහොම ටික කාලයයි. නමුත් ඉතිහාසය පුරාම මේ ආයතනය මාධ්‍ය සදාචාරය ඉහළින්ම ආරක්ෂා කර තියෙනවා. එයට හොඳම උදාහරණයක් තමයි, සුනාමි අවස්ථාවේ සිදුවූ ඉතාම සංවේදී සිදුවීම් ජාතික රූපවාහිනිය සතුව තිබීම. හැබැයි අපි ලාභ අලෙවිකරණය වෙනුවෙන් ඒවා පාවිච්චි කරන්නේ නෑ.

ගුණාත්මක, සත්‍ය සහ හරවත් දේ ප්‍රේකෂක ජනතාවට තිළිණ කිරීමට සැලසුම් සකස් කර ඇත්තේ කෙසේද ?

සාමාන්‍යයෙන් මාධ්‍යයට දේශපාලනයක් තියෙනවා. ජාතික රූපවාහිනියටත් දේශපාලනයක් තියෙනවා. ජාතික රූපවාහිනිය යම්කිසි පක්ෂයක හොරණෑවක් කියන මතය වෙනුවට මේක ජනතාවගේ හඬ, ජනතාවගේ හොරණෑව කියන තැනට පරිවර්තනය කරමින් ඉන්නවා. අපේ ප්‍රවෘත්ති විකාශය බොහොම සමබරව ඉදිරිපත් කරනවා. සමාජ මාධ්‍යවල ඇතිවී තිබෙන දියුණුවත් එක්ක ප්‍රවෘත්ති නොයෙක් ආකාරයෙන් නිරන්තරයෙන් සමාජගත වෙනවා. එය අපට වළක්වන්න බෑ. අපි කියන්නේ ප්‍රේක්ෂකයන්ට ඒ සියලු ප්‍රවෘත්ති බලන්න. හැබැයි ඒ ප්‍රවෘත්තිවල නිවැරදිබව තහවුරු කර ගැනීමට රාත්‍රී අටට ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති බලන්න කියලා. මේ ප්‍රවෘත්ති ඇතුළෙත් අපි අලුත් වැඩසටහන් ආරම්භ කර තියෙනවා.

සමහර දේවල් පළමු වතාවේ පටන් ගන්නකොට විශේෂයක් හැටියට පේනවා. නමුත් එය නිශ්චිත කාලය ඉක්මවා පවත්වාගෙන ගියොත් එයින් සමාජයට තියෙන බලපෑම හීන වෙනවා. මෑතකදී අපි සමීක්ෂණ දෙකක් කළා. එහිදී ප්‍රේක්ෂකයන් තමන්ගේ ප්‍රියතම ටෙලිනාට්‍යය විදිහට තෝරාගෙන තිබුණේ පසුගිය කාලයේ ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘අමුතු දොස්තර’ ටෙලිනාට්‍ය. අපි හැම අවස්ථාවේම සම්භාව්‍ය නාට්‍ය පෙන්වනවා කියන්නේ නෑ. නමුත් ප්‍රේක්ෂකයන්ගේ රුචි අරුචිකම් ගැන ඉතා හොඳ සොයා බැලීමක් කර, සමීක්ෂණයක් කර ඒ මත අපේ නාට්‍ය තෝරා ගැනීම සිදු කරනවා. මේ සියල්ල සිදු වන්නේ විනිවිදභාවයකින්.

රියැලිටි වැඩසටහන් පටන් ගත් ආයතනය තමා ජාතික රූපවාහිනිය. නමුත් යම් කාලයක් ගිහින් එයින් ගත යුත දේ අරන් එය අත්හැර දැම්මා. අදටත් සියලුම වයස් කාණ්ඩවල අය ආමන්ත්‍රණය කරන සංගීත වැඩසටහන් තියෙනවා.

දැන් රටට නිශ්චිතවම ක්‍රීඩාව සම්බන්ධයෙන් නාළිකාවක් නෑ. අපි බලාපොරොත්තු වෙනවා, ජාතික රූපවාහිනියේ සහෝදර නාළිකාව වන ‘චැනල් අයි’ තරුණ තරුණියන් සහ ක්‍රීඩාව වෙනුවෙන් වෙන් වූ නාළිකාවක් හැටියට ඉතා ඉක්මනින් පරිවර්තනය කරන්න. උතුර සහ නැඟෙනහිර දමිළ භාෂාව කතා කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අපි ‘නේත්‍රා’ නාළිකාව ආරම්භ කර තියෙනවා. නුදුරේදීම එම නාළිකාවේ ධාරිතාව වැඩි කර උතුර සහ නැඟෙනහිර සියලු ප්‍රදේශ වගේම කඳුකරය ආවරණය වන ආකාරයට යාවත්කාලීන කරන්න කටයුතු කරනවා. ඒ ප්‍රජාව ඉලක්ක කර ගත් විනෝදාස්වාද, දැනුම සහ අධ්‍යාපනය දෙන වැඩසටහන්වලින් ‘නේත්‍රා’ නාළිකාව බලගන්වන්න අපේක්ෂා කරනවා.

දිල්හානි ජයවර්ධන

ඡායාරූපය – ශාන් රඹුක්වැල්ල