‘ටෙලි මෙඩිසින්’ තාක්ෂණය ඔස්සේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව ලබාදීමට පහසුකම් සැලසීමට අදහස් කරන බවත්, එමෙන් ම ඉදිරියේ දී විශේෂඥ වෛද්‍යවරු ප්‍රමාණය ද ක්‍රමිකව ඉහළ නංවාගෙන මෙරට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදිය හැකි වනු ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

දකුණු පළාතේ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර එ්කක සහ සෞඛ්‍ය මධ්‍යස්ථානවල අඩුපාඩු සොයා බැලීමට සහ වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු අධ්‍යනය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා දකුණු පළාතේ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකක සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන කිහිපයක් නිරීක්ෂණයට ලක් කළ අවස්ථාවේදී මේ බව පැවසීය.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගන්වමින් ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමට වර්තමාන රජය ගෙනයන වැඩපිළිවෙළ යටතේ දකුණු පළාතේ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර එ්කක සහ සෞඛ්‍ය මධ්‍යස්ථානවල අඩුපාඩු සොයා බැලීමට අමාත්‍යවරයා මෙලෙස එක්විය.

රජයේ නව වැඩපිළිවෙළ යටතේ දිවයිනේ තිබෙන ග්‍රාමීය රෝහල්, ප්‍රාදේශීය රෝහල් සහ දිසා රෝහල්  ප්‍රතිසංස්කරණය කර ඒවායේ රෝග පරීක්ෂණ, රසායානාගාර සහ රෝගී සත්කාරක පහසුකම් වැඩිදියුණු කෙරෙන අතර, තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් අදාළ සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉලක්ක කරගනු ලබන ප්‍රජාවගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ දත්ත ගබඩා කිරීම, ඒවා නිරතුරුව යාවත්කාලීන කිරීම, විශේෂඥ උපදෙස් ලබා ගැනීමට ජාලගත වීම සඳහා දත්ත හුවමාරුව සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු ආදිය සඳහා පහසුකම් සැලසීම ද සිදු කරනු ලබයි.

තිස්සමහාරාම බෙරලිහෙල ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර එ්කකය, මත්තල මධ්‍යම බෙහෙත් ශාලාව, කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඇතුළු මධ්‍යස්ථාන කිහිපයක් මෙහිදී  අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වු අතර  ඉදිරි සැලසුම් සකස් කිරීමේ දී එම මධ්‍යස්ථාන සවිබලගැන්වීම පිළිබඳව මූලික අවධානය මෙන් ම අභියෝග හඳුනා ගැනීමට ද මෙහිදී සිදුවිය.

මෙහිදී එම සියලු මධ්‍යස්ථාන තුළින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට ඉල්ලීමක් ලෙස ඉදිරිපත් වූ ප්‍රධාන කරුණ වූයේ වැඩ කටයුතු සිදු කිරීමේ දී අන්තර්ජාල සම්බන්ධතා නොමැතිවීම මත ඔවුන් පත්ව ඇති දුෂ්කරතාවයි.

එමෙන් ම ඉඩකඩ ප්‍රමාණවත් නොවීම, ප්‍රවාහන අපහසුතා, ඖෂධ තත්ත්වයන්, සායන රෝගීන් කළමනාකරණය, මානව සම්පත් සහ භෞතික සම්පත් පිළිබඳව ද අමාත්‍යවරයා දැනුවත් කරන ලදි. තව ද එක් එක් ආයතන විසින් දෛනිකව සිදු කරනු ලබන සායන සහ රෝගී ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වයන් පිළිබඳව ද කරුණු දැක්වීය.

මෙම සංචාරයේ දී දක්ෂිණ සුවවිරු තරඟාවලියේ ජයග්‍රහණ කිහිපයක් ලබා ඇති  තිස්සමහාරාම බෙරලිහෙල ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර එ්කකයේ රෝගී සත්කාර කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්වීම ද විශේෂත්වයකි.

පුරවැසියාට කෙටි දුරකින් තම සෞඛ්‍ය සේවා සපයා ගත හැකි, ප්‍රජාව මුලික කොටගත් ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් අවශ්‍ය බවත්, කිලෝ මිටර් 03 ක වපසරියක, ග්‍රාම නිලධාරි වසම් 05 ක් පමණ ආවරණය වන පරිදි  7000  පමණ වන ජනතාවක් ඉලක්ක කර‍,  එම ජනතාව රෝහලට පැමිණීම වෙනුවට වෙත  ගොස් සේවා සපයන තැනට සෞඛ්‍ය සේවාව පරිවර්තනය කරමින් ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීමට බලාපොරොත්තු වන බවද ඊට අදාළ සැලසුම් සිදුකෙරෙමින් පවතින බවද අමාත්‍යවරයා මෙම නිරීක්ෂණයේ දී පෙන්වා දුන්නේය.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ මුලිකත්වයෙන් මාතෘ හා ළදරු සායන පවත්වාගෙන යනු ලබන ස්ථාන ද මෙකී වැඩපිළිවෙළ තුළ නවීකරණය කෙරෙන බවත්, එමඟින් ජනතාව රැකබලා ගන්නා සෞඛ්‍ය කණ්ඩායමක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

මෙරට සෞඛ්‍ය සේවාවේ විශේෂඥ වෛද්‍යවරු ප්‍රමාණය 2000 කට පමණ සීමාවන බැවින් ග්‍රාමීය ප්‍රදේශ  දක්වා ම විශේෂඥ වෛද්‍ය සේවාව සැපයීමේ අපහසුතාවයක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා විශේෂඥ වෛද්‍යවරයෙක් සෑම ප්‍රාදේශීය මට්ටමේ රෝහලකට ම යොමු කිරීම අපහසු බවත් එබැවින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන වලින් ප්‍රධාන රෝහල් වෙත යොමු කරන රෝගීන්ට ‘ටෙලි මෙඩිසින්’ තාක්ෂණය ඔස්සේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව ලබාදීමට පහසුකම් සැලසීමට අදහස් කරන බවත්, එමෙන් ම ඉදිරියේ දී විශේෂඥ වෛද්‍යවරු ප්‍රමාණය ද ක්‍රමිකව ඉහළ නංවාගෙන මෙරට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදිය හැකි වනු ඇති බව ද පෙන්වා දුනි.

මෙම අවස්ථාවටන්ට කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එච්.සී.ඩබ්ලිව් අජිත් කුමාර,  තිස්සමහාරාම බෙරලිහෙල ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර එ්කකයේ  ආයතන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය වෛද්‍ය ඉරේෂා අමරසේන, මත්තල මධ්‍යම බෙහෙත් ශාලාවේ ආයතන භාර වෛද්‍ය නිලධාරී එස්.එච්.ටී ප්‍රමුදිත් යන මහත්ම මහත්මින් සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.