“එළවළු පලතුරු – සුවදෙයි නිරතුරු” යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති 2025 ජාතික පෝෂණ මාසයට සමගාමී ව ජාතික සැමරුම් උත්සවය ඊයේ (11) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි.

සෑම වර්ෂයක ම ජුනි මාසය ජාතික පෝෂණ මාසය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නම් කර ඇති අතර මෙවර තේමාව තුළ ප්‍රධාන පණිවුඩ හතරක් හඳුනාගෙන ඇත.

එම ප්‍රධාන පණිවුඩ හතර නම්,

  1. දිනකට අවම වශයෙන් එළවළු වර්ග දෙකක්, පලා වර්ගයක් සහ පලතුරු වර්ග දෙකක් පරිභෝජනය කරන්න.
  2. එළවළු සහ පලතුරු සකස් කිරීමේ දී ඒවායේ පෝෂණ ගුණය ආරක්ෂා වන අයුරින් සකස් කර ගැනීම සිදු කරන්න.
  3. සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර වශයෙන් හැකි සෑම විටම එළවළු සහ පලතුරු ආහාරයට ගන්න.
  4. දේශීයව අඩු වියදමින් ලබාගත හැකි එළවළු සහ පලතුරු තෝරා ගන්න                                          යන කරුණු වේ.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ වර්තමානයේ ළමා පරපුර එළවලු, පළතුරු පරිභෝජනයෙන් ඈත් වෙමින් යන බවත්, පරිසරයේ කෙතරම් පෝෂණීය, ගුණාත්මක දෑ දකින්නට ලැබුනත් එමෙන්ම පාසලේ, පෙර පාසලේ කෙතරම් ඒ පිළිබදව දැනුවත් කිරීම්  සිදු කළත් දරුවන් එළවලු, පළතුරු වලට ප්‍රියතාවයක් නොදක්වන බවත් ය.

තවද මේ සම්බන්ධයෙන් දෙමාපියන් සහ ප්‍රජාව අවධානය යොමුකරමින් එම තත්ත්වය වෙනස් කිරීම සඳහා ආකල්පමය වෙනසක් කඩිනමින් ඇතිකර ගත යුතුව ඇතැයි ද අමාත්‍යාවරයා පැවසී ය.

පෝෂණය සම්බන්ධයෙන් පවතින අභියෝග වලට මුහුණ දීමට සහ එම අභියෝග ජයගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුළුල් කාර්යභාරය පිළිබඳව පෙන්වා දුන් අමාත්‍යවරයා, පෝෂණය සම්බන්ධයෙන් ජනමාධ්‍ය විෂයට සැලකියයුතු කාර්යභාරයක් ඉටු කිරීමට තිබෙන බව ද,  මාධ්‍ය ආයතන මඟින්  විකාශනය කරනු ලබන ප්‍රවෘත්ති සහ විද්වත් වැඩසටහන් පමණක් නොව සියලු වැඩසටහන් තුළ පෝෂණය සම්බන්ධයෙන් නිරවද්‍ය දැනුවත් කිරීම් ජනතාව වෙතට රැගෙන යාමට රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය සියල්ලටම ආරාධනා කරන බවත්, ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර ගතයුතු බවත් සඳහන් කළේය.

එවැනි වැඩපිළිවෙළක් වසර කිහිපයක් අඛණ්ඩව දියත් කළහොත් මෙරට පෝෂණය සම්බන්ධ විෂයට අදාළව උපරිම ප්‍රතිඵල ලබා ගත හැකි බව ද  ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙනු ලැබීය.

පෝෂණය යන විෂය සෞඛ්‍ය අංශයට පමණක් සම්බන්ධ විෂයක් නොවන බවත්, එය අමාත්‍යාංශ ගනණාවක මැදිහත්වීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර කරගත යුතු විෂයක් බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසී ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ,  යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් (Mr. Christian Skoog), යන මහත්වරුන් ද , සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, පළාත් සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, රෝහල් අධ්‍යක්ෂවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් පෝෂණවේදීන්,හෙද හෙදියන්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින්  පිරිසක් ද  මෙම අවස්ථාවට සහභාගි වූහ.