අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අධ­්‍යාපන අමාත්‍යාංශය පියවර ගනී.

කඩිනමින් මේ ජාතික ප්‍රතිපත්තිය ගෙන එන බවත් ගුරු වැටුප් විෂමතාවයන් හැකි ඉක්මනින් ඉවත් කිරීමට කටයුතු කරන බත් අධයාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

නව තනතුරේ වැඩ භාරගැනීමෙන් සතියක් ඉක්මවීමට පෙර නව තීන්දු තීරණ විශාල ප්‍රමාණයක් ප්‍රකාශ කළ අමැතිවරයා පාසල් ළමුන් යොදා ගෙන වාර්ෂිකව පවත්වනු ලැබූ පෙරහරවල් අවලංගු කිරීමට තීරණය කළේය.

මින් පසු පාසල්වලට සහ පාසල්වල විවිධ ව්‍යාපෘති සඳහා දේශපාලඥයන්ගේ නම් යොදා ගැනීම නැවැත්වීමද ඇමැති කාරියවසම් මහතා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.

පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති අතර පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීමේදී මුදල් ලබාගැනීම සම්බන්ධව සොයා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට යෝජනා කළ අතර පාසලේ යම් සාධාරණ කටයුත්තක් සඳහා මුදල් අයකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසර ලබාගත යුතු බවද ඇමැතිවරයා නියෝග කර ඇත.

මෙතෙක් ප්‍රමාද වී ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ත්ව විභාගයේ පාසල් කඩ ඉම් ලකුණු ලබන සතිය තුළ නිකුත් කිරීමට කටයුතු සලස්වන ලෙසටද අදාළ නිලධාරීන්ට ඇමැතිවරයා උපදෙස් ලබාදී ඇත.

මෙම නියෝග ඇමැති කාරියවසම් මහතා ලබා දී ඇත්තේ පසුගියදා අමත්‍යාංශයේදී නිලධාරීන් හමු වූ අවස්ථාවේදීය.