ස්වර්ණවාහිනී ආයතනය උදෑසන පුවත්පත් කියවීමේ වැඩසටහනක් ලෙස මෙතෙක් පවත්වා ගෙන ආ මුල් පිටුව නැමැති වැඩසටහන ඉදිරිපත් කළ බන්දුල පද්මකුමාර මහතා එයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ආයතන ඔස්සේ ඉදිරිපත් කෙරෙන අදහස් පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත. ඉහළින් පැමිණි නියෝගයක් මත එය සිදුවූවක් බවත් එසේම එය රජය මගින් සිදුවූවක් යැයි වක‍්‍රව හැඟෙන ආකාරයට ජනමාධ්‍ය වැඩසටහන්වල අදහස් පළකෙරමින් තිබේ.

ස්වර්ණවාහිනී ආයතනය විසින් කරන ලද මෙම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු සම්බන්ධයක් නැත. එය හුදෙක් ම එම ආයතනය විසින් ගත් තීන්දුවක් බව අපගේ විශ්වාසය යි. එසේම ජනමාධ්‍යවල වැඩසටහන් තීන්දු කිරීමෙහි ලා මාධ්‍ය ආයතනයක් වෙත කිසිදු බලපෑමක් නොකිරීම රජයේ ප‍්‍රතිපත්තිය වන අතර ජනමාධ්‍ය නිදහස උපරිම අයුරින් තහවුරු කිරීම ද රජයේ ප‍්‍රතිපත්තිය වේ.

මේ ප‍්‍රතිපත්තිය පෞද්ගලික මාධ්‍යවලට මෙන්ම රාජ්‍ය මාධ්‍ය වලට ද එකසේ අදාළ වන බව ගරු ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අවධාරණය කර ඇත.

කරුණාරත්න පරණවිතාන
ලේකම්
ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය