මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියකු වූ ඩී.එෆ්. කාරියකරවන මහතා ඊයේ (21) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 1920.02.08 දින මීගමුවේදී උපත ලද කාරියකරවන මහතා මිය යන විට 95 වැනි වියේ පසු විය.
තලවතුගොඩ, හෝකන්දර, ශාන්තිපුර තුන්වැනි පටුමගේ අංක 26215 සී දරන ලිපිනයේ පිහිටි නිවසෙහි වසර පහක පමණ කාලයක් රෝගාතුරව සිටි කාරියකරවන මහතා ඊයේ (21) පෙ.ව. 7.40ට පමණ අවසන් හුස්ම හෙළා ඇත. කාරියකරවන මහතා මිය යන මොහොත වන තෙක්ම ලේඛන කටයුතුවල නිරතව සිටි අතර පුවත්පත් හතරකට සතිපතා තීරු ලිපි හතරක් සම්පාදනය කළේය. කාරියකරවන මහතා මීට දශක කිහිපයකට පෙර 'දිනමිණ' පුවත්පතට ලියූ 'චීන පටස්' තීරු ලිපිය මෑතකදී ඒ මහතාගේම යෝජනාවකට අනුව නැවත දිනමිණට ලිවීම ඇරඹිණි.
මුදිත, රුවන්, මාලා, ගීතා සහ හසිතා යන දූ දරුවන්ගේ දයාබර පියාණන් වූ කාරියකරවන මහතාට මුණුබුරු මිණිබිරියන් රැසකි. කාරියකරවන මහතාගේ පුත් මුදිත කාරියකරවන සහ මුණුබුරු කුරුළු කාරියකරවන ඒ මහතාගේ මඟ යමින් මාධ්‍ය වෘත්තියට පිවිස තිබේ. කාරියකරවන මහතාගේ දයාබර බිරිඳ මීට වසර කිහිපයකට පෙර මිය ගියාය.
පැරණි ලංකාදීප පුවත්පතෙන් ලේක්හවුස් ආයතනයට පැමිණි කාරියකරවන මහතා දිනමිණ ජ්‍යෙෂ්ඨ උප කර්තෘවරයකු ලෙස විශිෂ්ට සේවාවක් සිදු කර පසුව සිළුමිණ, ජනතා, ක්‍රීඩා ආදී පුවත්පත් රැසක ප්‍රධාන කර්තෘ ධුරයටද පත් විය. පුවත්පත් බස පිළිබඳ විශේෂ සැළකිල්ලක් දැක්වූ කාරියකරවන මහතා සිංහල, ඉංග්‍රීසි දෙබසින්ම මාධ්‍ය කටයුතුවල නිරත විය. ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම ගිය කාරියකරවන මහතා 1995 වසරේදී උපදේශකවරයකු ලෙස නැවත වරක් ලේක්හවුසියට එක් විය. දැනට සිටින බොහෝ මාධ්‍යවේදීන්ගේ ගුරුවරයකු වන කාරියකරවන මහතා 1995 වසරේදී ලේක්හවුස් ආයතනයේ ඇරඹි මාධ්‍ය පුහුණු ආයතනයෙන් මාධ්‍යවේදීන් රැසක් බිහි විය.
කාරියකරවන මහතා මාධ්‍ය සංගම් රැසකම නිර්මාතෘවරයාය. ලංකා පත්‍ර කලා සංගමයේ ආරම්භකයකු වන ඒ මහතා මිය යන විටදී එම සංගමයේ උත්තර අනුශාසකවරයා ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය ඇරඹීමේදී ද කාරියකරවන මහතා පුරෝගාමී මෙහෙයක් ඉටු කළේය.
කාරියකරවන මහතා පත්‍ර කලාවේදියකු පමණක් නොව ග්රන්ථ කර්තෘවරයකුද විය. 'දශක ශතක මතක' මතක පොතෙන් තවත් ටිකක්, මතක පොතේ ඉතිරි කාරිය, රට ගිය ඇත්තෝ, ඇවිද්ද පය' ආදී ග්රන්ථ රැසක් කාරියකරවන මහතා විසින් රචනාකොට ඇත.
කාරියකරවන මහතා ජාත්‍යන්තර මාධ්‍ය සම්මේලන රැසකට සහභාගී වෙමින් මෙරට මාධ්‍යවේදීන්ට විදේශ මාධ්‍ය ආයතන සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට අවස්ථාව උදා කර දුන්නේය. මාධ්‍ය ක්ෂේත්රයේ සම්මාන රැසක් ඒ මහතා හිමිකරගෙන ඇත.
කාරියකරවන මහතාගේ අවසන් ඉල්ලීම අනුව ඒ මහතා අභාවප්‍රාප්ත වූ ඊයේ (21) දිනයේදීම පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් පාංශකූලය පූජා කිරීමෙන් අනතුරුව පස්වරුවේදී දේහය මාලඹේ වෛද්‍ය විද්‍යාලයට භාරදීමට කටයුතු යොදා තිබිණි.