60, 70 දශකයේ සිට ජනප්‍රිය ගායකයකුව සිටි හරූන් කුමාර් ලන්ත්‍රා මහතා ඊයේ (21) අලුයම අභාවප්‍රාප්ත විය.

මිය යනවිට 83 වන වියේ පසු වූ ලන්ත්‍රා වසර ගණනාවක සිට උගුරේ ඇතිව තිබූ ආබාධයක් හේතුවෙන් කථා කර ගැනීමට පවා නොහැකිව සිටියේය. ගොපලු හඬ චිත්‍රපටයට ගැයූ මගෙ නාමලී ගීතයෙන් සහ සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී ගීතයෙන් ද වඩාත් ජනප්‍රිය වූ හෙතෙම ගායනා කළ ගීත අතර ලොවේ සැමදා තණ්හා, ආනන්ද මේ රෑ, හදමල් පඳුරේ, සාගරේ සිහිලැල්, මැව්වාද කවුරු ප්‍රේමේ, හඳපානේ මල් පිපුණා ආදී ගීත සිය ගණනකට වඩා විය.

අතාරිත් ලන්ත්‍රා මහත්මිය සමඟ විවාහව සිටි ලන්ත්‍රා ජාතික ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙකි. ඔවුනට දරුවන් නොමැත. මිය යන විට ලන්ත්‍රා කැලණිය පොල්හේන ප්‍රදේශයේ පදිංචිව සිටියහ.

1932 වසරේ ටී.පී. ලන්ත්‍රා සහ වනිතාර් ලන්ත්‍රා මහත්මියට දාව ඉපිද ඇති ලන්ත්‍රා පවුලේ සොහොයුරියන් 7 දෙනකුගේ එකම සොයුරාය.

මරදාන සහිරා සහ දෙමටගොඩ ශාන්ත ජෝන් විදුහල්වලින් අධ්‍යාපනය ලබා ඇති හරූන් ලන්ත්‍රා ගායන ලොවට සම්බන්ධවීමෙන් පසුව සම්මාන රැසකටද හිමිකම් කීවේය. විශේෂයෙන් ඔහු 1993 සහ 1997 වසර වලදී සරසවිය සම්මානයටද පාත්‍ර විය.

විශේෂයෙන් ලේක්හවුස් පුවත්පත් මඟින් මහත් ඇගයීමකට ලක් කළ ලන්ත්‍රා වෙනුවෙන් එම පුවත්පත් විසින් මූල්‍යමය ආධාර ඇතුළු තවත් නොයෙකුත් ගැටලු සඳහා ද මැදිහත් විය.

හරූන් ලන්ත්‍රා මහතාගේ අවසන් කටයුතු මුස්ලිම් ආගමික චාරිත්‍රානුකූලව ඊයේ (21) පස්වරුවේ මාදම්පිටිය මුස්ලිම් සුසාන භූමියේදී සිදු කරන ලදී. දේහය පස්වරු 1.00 සිට මහජන ගෞරවය සඳහා කොළඹ කලා භවනේ තැන්පත් කර තිබිණ.