ශ්‍රී ලංකාවේ සාමය සහජීවනය සංවර්ධනය සඳහා ඉන්දියාව තම අවංක ආධාර හා සුබ පැතුම් පිරිනමන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉකුත් සිකුරාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් පැවැසීය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමෙන් හා ඉන් ඉදිරියට ගමන් කිරීමෙන් ශ්‍රී ලංකාවට තවත් අභිවෘද්ධියට පත්වීමට හැකි වනු ඇතැයි ද මෝදි කී ය.

ශ්‍රී ලංකාවේ සියලු ජනකොටස්වල අභිමතාර්ථ ඉටු කරදීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ එක්ව ක්‍රියා කරන බවත්, එයින් දෙමළ ජනතාව ඇතුළු මෙරට වසන සියලු ජන කොටස්වල ජීවිතවල සමානාත්මතාවය, සාධාරණත්වය, සාමය හා අභිමානය එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ගොඩනැඟිය හැකි වනු ඇති බවත් ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ජගත් ආර්ථිකයේ ප්‍රධාන හවුල්කරුවකු ලෙස ඉන්දියාව සැලකෙන බවත් තම උත්සාහය එහි ප්‍රථම සහකරු ලෙස ශ්‍රී ලංකාව පත් කර ගැනීම බවත් පෙන්වා දුන් ඉන්දීය අගමැතිවරයා දකුණු ආසියා සංවර්ධනයේ ප්‍රධාන එන්ජින් දෙක ඉන්දියාව හා ශ්‍රී ලංකාව විය යුතු යයි ද පැවැසීය.

එකම කාල වකවානුවක නිදහස් රාජ්‍යයන් බවට පත්වූ දෙරට කවර අතින් බැලුවත් බොහෝ සමානකම් ඇති බවත් අසල්වැසියන් වශයෙන් ආගම, භාෂාව, සංස්කෘතිය ආදි හැම අංශයක් පුරාම එකී සමානකම් විහිද යන බවත් මෝදි මහතා පවසා සිටියේය.

තමා උපන් බිම බුදු සමයේ ඉතා වැදගත් ස්ථානයක් ව තිබූ බවත් පෙන්වා දුන් මෝදි මහතා දෙරටේ ආරක්ෂාව සම්බන්ධව ක්‍රියා කිරීමත් විශේෂයෙන් සමුද්‍ර ආරක්ෂාව කෙරෙහි දැඩි අවධානයක් යොමුකළ යුතු බව ද පෙන්වා දුන්නේය.

න්‍යෂ්ටික බලය සාමකාමී කටයුතුවලට යොදා ගැනීමත් එමඟින් කෘෂිකර්මය දියුණු කර ගැනීමට කටයුතු කළ හැකි බවත් චන්ද්‍රිකා තාක්ෂණයේ උපරීම ප්‍රයෝජන ගැනීමට කටයුතු කළ යුතු යැයි ද පැවැසීය.

ඉන්දියානු කලාපය සාම කලාපයක් ලෙස පැවැතිය යුතුයි. දෙරටේ අවශ්‍යතා තහවුරු කරගතහොත් එය අපගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බව කැපී පෙනෙනවා. ආගමික සංස්කෘතික අංශවලින් වගේම තව අංශ ගණනාවකින් අපි සමානයි. සංකීර්ණ ගැටලු අපි අපේම ආකාරයට විසඳාගත යුතුයි. විවිධත්වය රටට ආශිර්වාදයක් කරගත යුතු යයි ද ඉන්දිය අගමැතිවරයා කියා සිටියේය.

මෝදි මහතා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ඇමතූ හතර වැනි ඉන්දීය අගමැතිවරයා වන අතර, අපේ පාර්ලිමේන්තුව ඇමතූ නවවැනි විදේශ රාජ්‍ය නායකයා ද වෙයි.