ජගත් මානව හිමිකම් කවුන්සලයේ 28 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී අද (02) ආරම්භ වෙයි.

සාමාජික රටවල මෙන්ම සමස්ත ලෝකයට බලපාන වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් මෙවර සැසියේ දී අවධානය යොමුකරන අතර එම සැසිවාරය මේ මස 27 දක්වා පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ අතර අද ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසිවාරයට සහභාගි වීම සඳහා විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ජිනීවා නුවරට ගොස් සිටින අතර එම සමුළුව අතරවාරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ද හමුවී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.

එහීදී මෙරට මානව හිමිකම් තත්ත්වය හා නව රජය බලයට පත්වීමෙන් පසු සංහිඳියා ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ගත් වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියමිත බවද විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. රටවල් 65ක් නියෝජනය කරමින් විදේශ අමාත්‍යවරුන් එම සැසිවාරය සඳහා සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකාව ඇතුළුව ලෝකයේ රටවල් 47ක් ජගත් මානව හිමිකම් කවුන්සලයේ සාමාජිකත්වය උසුලන අතර අප්‍රිකානු රටවල් 13, ආසියා පැසිෆික් රටවල් 13, ලතින් ඇමෙරිකානු සහ කැරිබියන් රටවල් 8, බටහිර යුරෝපීය සහ වෙනත් රටවල් 7 සහ නැඟෙනහිර යුරෝපා රටවල් 6ක් ඒ අතර වෙයි.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ වාර්තාව මෙවර සැසිවාරයේ දී ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් රජයේ ඉල්ලීමකට අනුව එම වාර්තාව කල්දැමීමට ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු තීරණයකර කළේය. යුද්ධය අවසන් අදියරේ දී ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි පවසන යුද අපරාධ සහ මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ ජාත්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව මෙලෙස ඉදිරිපත් කිරීම මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට පියවර ගෙන තිබේ.

අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මානව හිමිකම් කවුන්සලය පසුගිය 2014 වසරේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළේය. වත්මන් විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතාගේ ඉල්ලීමකට අනුව අදාළ වාර්තාව ඉදිරිපත් කිරීම කල් දැමීමට තීරණය කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව සොයාබැලීම සඳහා විශ්වාසවන්ත දේශීය පරීක්ෂණයක් සිදුකළ යුතුයි යන ස්ථාවරයෙහි ශ්‍රී ලංකාවේ වත්මන් රජය සිටින බවද දේශීය හෝ විදේශීය කිසිඳුදු පරීක්ෂණයක් නොකරන ස්ථාවරයේ පසුගිය රජය සිටි බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.

රජයේ අරමුණ වන්නේ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් වෙනුවට අදාළ චෝදනා සම්බන්ධයෙන් දේශීය පරික්‍ෂණයක් පැවැත්වීම සඳහා ජාත්‍යන්තරයේ එකඟතාව ලබාගැනීම වන අතර වර්තමාන රජයට අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් වාර්තාව කල් දමන බවට ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ප්‍රකාශකර තිබේ.