ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මේ වසරේදී අමෙරිකාවේ නිල සංචාරයකට ඇරියුම් කෙරේ.

විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතාගේ අමෙරිකානු නිල සංචාරයේදී අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන්එෆ්.කෙරී මහතා ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් හමුවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ අමෙරිකානු සංචාරය පිළිබඳ සාකච්ඡා කෙ‍රුණු බව අද (19) පැවැත්වූ කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේදී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රජයේ කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

මීට අමතරව අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන්එෆ්.කෙරී මහතාට මෙරටට පැමිණෙන්නැයි කරන ලද නිල ආරාධනාව ඒ මහතා විසින් පිළිගත් බව මංගල සමරවීර ඇමැතිවරයා දැනුම් දුන් බව ද රාජිත සේනාරත්න මහතා පැවැසීය‍.

එම නිල සංචාරයෙදී එක්සත් ජාතීන්ගේ සංගමයේ නීත්‍ය නියෝජිත සමන්තා පවර් මහත්මිය ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් රැසක් සමඟ ද ඇමැතිවරයා ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වා ඇත. විශේෂයෙන්ම රාජ්‍ය ලේකම් කෙරී මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී නව රජය විසින් ගනු ලැබූ දින 100 වැඩසටහන , කඩිනම් සවර්ධන ක්‍රියාමාර්ග පිළිබඳ කෙරී මහතා ඉතා පැහැදුණු බවද විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පවසා ඇත.