ඉන්දියානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති බාලා බාස්කර් රාවෝ මහතා හා දූත පිරිස විසින් ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඉන්දීය සංස්කෘතියට අනුව පිළිගත් අයුරුයි. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්ත පරණවිතාන මහතා ද මෙරට නව දේශපාලන සංස්කෘතිය දෙස ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ ඉන්දියානු ජනමාධ්‍ය දෑස් දල්වා බලා සිටින බව පස්දින සංචාරයක් ‍සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු ජනමාධ්‍ය කණ්ඩායම, ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා හමු වූ අවස්ථාවේදී ප්‍රකාශ කළහ.

පාර්ලිමේන්තු ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේදී ඊයේ (10) මේ කණ්ඩායම ඇමැතිවරයා හමු වූහ.

ඉන්දියානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති බාල බාෂ්කර රාඕ, ලේකම් අරුත් ෂර්මා ඇතුළු හය දෙනෙක් කණ්ඩායම නියෝජනය කළහ.

ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතාද මේ හමුවට එක් විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දියානු සංචාරය පිළිබඳ එරට මාධ්‍යවේදීන් දැඩි අවධානයකින් සිටින බව ප්‍රකාශ කළ මාධ්‍ය කණ්ඩායම මෙරට වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවද සාකච්ඡා කළහ.

දෙරට මාධ්‍යවේදීන් හුවමාරු කරගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එකඟ වූ අතර එමඟින් අපගේ මාධ්‍යවේදීන්ගේ පර්යේෂණ කටයුතු සහ වෘත්තීය දැනුම වැඩිදියුණු කිරීමට දායක වන බවද ඉන්දියානු මාධ්‍ය කණ්ඩායම ප්‍රකාශ කළහ.

මෙරට සංචාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සෞඛ්‍ය සහ වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහත්වරුන් හමුවීමට නියමිත අතර ත්‍රිකුණාමලයේ සංචාරයකද නිරත වෙති.

සාකච්ඡාවට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්ත ප්‍රිය රාමනායක, ජාතික ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දයා පෙරේරා සහ විදේශීය ලේකම් අනිල් පෙරේරා මහත්වරුන්ද එක් වූහ.