ඉන්දියානු සිවු දින නිල සංචාරය සඳහා කටුණායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් යූ එල් 195 දරන මඟී ගුවන් යානයකින් ඊයේ (15) නික්ම ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පස්වරු 5ට පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්ධිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා විය.

ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු ප්‍රථම විදේශ සංචාරයට එක්වන ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රි ලංකා දූත පිරිස මහත් උත්සවශ්‍රීයෙන් පිළිගැනීමට නව දිල්ලි ගුවන් තොටුපළේ අභිමානවත් උත්සවයක් ඉන්දීය රජය සූදානම් කැර තිබුණි.

ඉන්දීය රජය වෙනුවෙන් එරට නාවුක, මහාමාර්ග හා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය පී. රාධක්‍රිෂ්නන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහ යන මහත්වරුන් ඇතුළු විශේෂ දූත පිරිසක් විසින් එහිදී ජනාධිපතිතුමාව මහත් හරසරින් යුතුව පිළිගත්හ.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සුදර්ශන සෙනෙවිරත්න මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය. ජනාධිපති ධුරයට පත්ව සිය ප්‍රථම නිල සංචාරය සනිටුහන් කරමින් අසල්වාසි මිත්‍ර රාජ්‍ය වන ඉන්දියාවට ගිය ජනාධිපතිතුමා පිළිගන්නට ඉන්දියානු රජයත්, ජනතාවත් මහත් උද්‍යෝගයෙන් යුතුව සැරසී සිටියහ. ජනාධිපතිතුමා පැමිණෙන මඟ දෙපස ඉන්දියානු සහ ශ්‍රී ලංකා ජාතික ධජ ලෙළදෙවමින් ජනාධිපතිතුමා වෙත සිය උපහාර පුද කර සිටියහ.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තෙදින නිල සංචාරයක් සඳහා එක්වන අතර ඒ සඳහා සහභාගිවන දූත පිරිස දහහතක් පමණ බව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.

විදේශ ඇමැති මංගල සමරවීර ,එම අමාත්‍යාංයේ ලේකම් චිත්‍රාංගනී වාගීශ්වර මහත්මිය, විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න, නැවත පදිංචිකිරීමේ සහ හින්දු කටයුතු ඇමැති එස්. ස්වාමිනාදන් උතුරු මැද ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී අ‍බේකොන් යන මහත්වරු ඇතුළු නිලධාරි 17ක පිරිසක් ඊට එක්වී සිටියහ. ජනාධිපතිවරයා ඉන්දියාවට යෑමට පෙරාතුව ඉන්දීය ධීවරයන් පිරිසක් මුදා හැරීමේ කටයුතු සිදු කෙරුණි.

තමිල්නාඩුවේ රැඳී සිටින ශ්‍රි ලාංකිකයන් පිළිබඳ මෙහිදී මෝදි අගමැතිවරයා ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට ද නියමිතය.

සාම්පූර් විදුලි බලාගාරය සහ න්‍යෂ්ඨික කටයුතු පිළිබද වි‍ශේෂ ආරක්ෂක ගිවිසුම් පිළිබඳ ද මෙහිදී සාකච්ඡා කිරීමට කටයුතු සූදානම් කර තිබේ. අද(16) ඉන්දීය ජනාධිපති ප්‍රනාබි මුඛර්ජි මහතා හමු වීමට නියමිත අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවා භෝජනයෙන් අනතුරුව ඉන්දීය විදේශ ඇමැති සල්මන් කුර්ෂාඩ් මහතාත් විපක්ෂ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය ඇතුළු විපක්ෂ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. පසුදින බුද්ධගයා විහාරය වැඳපුදා ගැනීමට එක්වන ජනාධිපතිවරයා ප්‍රධාන දූත පිරිස තිරුපති කෝවිලේ ආගමික වතාවත්වල නිරතවෙයි. පිරිස අනිද්දා(18) නැවත ශ්‍රි ලංකාව බලා පැමිණීමට නියමිතය.