ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන

තොරතුරු දැනගැනීම ජනතා අයිතියකි. එහෙත්, අප රටෙහි තොරතුරු දැනැගැනීමේ අයිතිය නීතියක් බවට පත්කිරීම කලක් තිස්සේ පස්සට දැමෙමින් තිබුණේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව කියමිනි. කෙසේ නමුත්, අලුත් ආණ්ඩුවේ අලුත් වැඩපිළිවෙළ යටතේ තොරතුරු දැනගැනීමේ අයිතිය නිතිගත කිරීමේ කටයුතු කඩිනම් වී තිබේ. එකී කටයුත්ත පිළිබඳත් එය සිදුවන ආකාරය පිළිබඳත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා සමඟ කළ කතා බහකින් උපුටා ගත් සටහනක් මෙහි පළ කෙරේ. තොරතුරු දැනගැනීමේ අයිතිය නීතියක් බවට පත් කිරීමට ලද අවස්ථා කීපයක් ම මඟ හැරීගිය නිසා ම සමාජයක් ලෙස අප ආපස්සට ගොස් තිබෙනවා නේද?

තොරතුරු දැනගැනීමේ අයතිය පිළිබඳ අතීතය ශත වර්ෂ ගණනාවක් ඈතට දිවයනවා. එය නීතියක් ලෙස පිළිගත් ලොව පළමු රට ස්වීඩනය. ඒ 1770 දී පමණ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම අයිතිය මානව අයිතියක් ලෙස පිළිගෙන ඇත්තේ 1946 දීයි. ඉන් අනතුරුව ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය හා උන්නතිය අපේක්ෂාවෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය ඔවුනගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා නීතියක් ලෙස හෝ විශේෂ නීතියක් ලෙස සම්මත කරගෙන තිබෙනවා.

අපගේ අසල්වැසියා වන ඉන්දියාව තොරතුරු දැනගැනීමේ අයිතිය නීතියක් ලෙස සම්මත කර ගත්තේ 2005 දී යි. නේපාලය 2007 දී මෙය තව නීති පද්ධතියට එක්කර ගත්තා. 2009 දී බංගලාදේශයත්, 2013 දී පාකිස්ථානයත් මෙය සම්මත කර තිබෙනවා. දකුණු ආසියානු කලාපයේ තොරතුරු දැනගැනීමේ පනත නීතියක් බවට සම්මත කරගන්නා අන්තිම රට වන්නේ අපි. නමුත් මෙම නීතිය අපගේ නීති පද්ධතියට එක්කර ගැනීමට අපි උත්සාහයත් නොගත්තා නොවෙයි. දැනට දශකයකට පමණ පෙර (2004) අපේ රටේ මෙය සම්මත කර ගැනීම සඳහා පියවර රාශියක් ගනු ලැබුවා.

ඒ සඳහා සමාජයේ සංවාදයක් ඇතිකිරීමට, පෙළගැස්සවීමක් ඇතිකිරීමට, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, කර්තෘ සංසදය වැනි ආයතන නීතිවේදීන්, වැනි පාර්ශ්ව විශාල ලෙස මැදිහත්වූවා. නමුත් ඒ උත්සාහය මල්පලගැන්වීමට නොහැකි වුණා.

* 2011 දී කරු ජයසූරිය මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ පිළිතුර වූයේ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන නිසා එම පනත නීතියක් බවට පත්කිරීමට බාධා පවතින බවයි. තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරුවීම රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ තිබේද?

‘තොරතුරු දැනගැනීමේ අයිතිය’ පමණක් නොවේ. ඕනෑම හිමිකමක් අයිතිවාසිකමක් බවට පත්වීමේ දී ඊට යම් සීමා මායිම් තිබෙනවා රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් ඇතිවෙන අන්දමින් මෙම නීතියේ ප්‍රතිපාදන සම්පාදනය වන්නේ නෑ. ලෝකයේ වඩා ඉහළ ප්‍රජාතන්ත්‍රවාදී වරප්‍රසාද ඇති රාජ්‍යයන්හී පවා විෂය මූලිකව ම මෙම හිමිකම් ලබාදීමේ දී සීමා පැනවෙනවා. රාජ්‍ය ආරක්ෂාව, පෞද්ගලිකත්වය වැනි ආරක්ෂා කළයුතු තොරතුරු අනාවරණය නොකළ යුතු ක්ෂේත්‍ර පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමුවෙනවා.

නමුත් රටේ මහජනතාව හැටියට දැන ගත යුතු තොරතුරු රාශියක් අනාවරණය වීම වළක්වා තිබෙනවා. ඒ දේවල් දැනගැනීමට මහජනතාවට අයිතියක් තිබෙනවා. රාජ්‍ය ආයතනවල මුදල් රාජ්‍ය ආරක්ෂාවට මුවා වී ඒ දේවල් ජනතාවගෙන් සැඟවීම නොකළ යුතුයි.

ශිෂ්ටසම්පන්න පරිපාලනයක් ගොඩනැගීමට විනිවිදභාවය අත්‍යවශ්‍යයි. ඒ මඟින් දූෂණ අක්‍රමිකතා වැළැක්විය හැකියි.

* තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ජනමාධ්‍ය අතර නොබිදිය හැකි සබඳතාවක් පවතිනවා. මෙම නීතිය සම්මතවීමෙන් පසුව මාධ්‍යවේදියාගේ භූමිකාව පවා වෙනස් වෙනවා නේද?

තොරතුරු හා මාධ්‍යවේදය අතර පවතින්නේ අවියෝජනීය බැඳීමක්. තොරතුරු සමාජගත කරන්නේ මාධ්‍යවේදියායි. මෙම නීතිය සම්මත කිරීමෙන් පසුව මෙතෙක් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් හෙළි නොකරන ලද තොරතුරු අනාවරණය කර ජනතාව වෙත ගෙනයාමේ අවස්ථාව මාධ්‍යවේදියාට හිමිවෙනවා.

ඒ නිසා ම මාධ්‍යවේදියා සතුව පැවති වගකීම පුළුල් වෙනවා. මේ අනුව නිවැරදි තොරතුරු ජනතාව වෙත ගෙනයාමේ වගකීම පැවරෙන්නේ ජනමාධ්‍යටයි.

* මෙම හිමිකම ලැබීමත් සමඟම රාජ්‍ය මාධ්‍යයේ ස්වරූපය‍ වෙනස් මුහුණුවරක් ගැනීමට ඉඩකඩ තියෙනවා ද?

රාජ්‍ය මාධ්‍යයේ ස්වරූපය මුළුමනින් ම වෙනස් විය යුතුයි. යන ස්ථාවරයකයි ආණ්ඩුව පසුවෙන්නේ. මෙම ආයතන මහජන මාධ්‍ය ලෙස ක්‍රියාත්මක වන අතරේ කර්මාන්ත ලෙස නගාසිටුවීමයි අපේ අරමුණ. තොරතුරු මාධ්‍ය අද ලෝකයේ දැවැන්ත කර්මාන්ත බවට පත්වී අවසන්. සෙසු මාධ්‍ය සමඟ තරගකාරීව කටයුතු කරමින් ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනගා ගත හැකිවන්නේ සෑම පාර්ශ්වයක ම හඬ මාධ්‍ය වෙතින් ඉදිරිපත් කළහොත් පමණයි. රජයේ අරමුදල්වලින් ක්‍රියාත්මක වන රජයේ ප්‍රචාරණ මාධ්‍ය බවට රාජ්‍ය මාධ්‍ය පත්නොකර දියුණු ජනමාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීම අපගේ අභිලාශයයි.

* තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමේ දී ආයතනික ව්‍යුහයන් සකස් කිරීම හෝ වෙනත් ක්‍රමවේද යෝජනා මොනවාද?

පාර්ලිමේන්තුවට වගකියන කොමිසමක් ස්ථාපිත කිරීමට යෝජනා විය හැකියි. ඒ අනුව හෙළි කරන තොරතුරුවල ස්වභාවය මහජනතාවට හෝ මාධ්‍යවේදීන්ට තොරතුරු ලබාදෙන ක්‍රමවේදය, සකස් කිරීමට නියමිතයි.

* කොමිසම පත්කිරීමේ බලය පැවරෙන්නේ කාටද?

බොහෝදුරට ජනාධිපතිතුමා විසින් පත්කෙරෙන ස්වාධීන කොමිසමක් විය හැකියි. සෑම පාර්ශ්වයක ම නියෝජනයක් ඇතිව සැමට පිළිගත හැකි, ස්වාධීන විද්වත් පුද්ගලයන් මෙම කොමිසම සඳහා පත්කෙරෙනු ඇතැයි කිවහැකියි.

* ඇතැම් රටවල මහජනතාවට අවශ්‍ය තොරතුරු දුරකථනයෙන් විමසීමෙන් වුව දැනගත හැකියි. අපගේ ක්‍රමවේදය කුමක්විය හැකිද?.

මහජනතාවට අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා අදාළ ආයතනයට ගොස් අයදුම්පතක් පිරවීම වැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට සිදුවේවි.

නමුත් කාලයත් සමඟ එය වඩාත් කාර්යක්ෂම තත්වයකට දියුණු කළ හැකියි. මාධ්‍යවේදීන්ට අවශ්‍ය තොරතුරු ලබාගැනීමේ දී ඊට වඩා වෙනස් ක්‍රමවේදයක් හඳුන්වාදීමට හැකියාවක් තිබිය හැකියි.

මානව හිමිකම් සුරැකීම සඳහා අත්‍යවශ්‍යයෙන් ස්ථාපිත කළ යුතු නීතියක් හැටියට තොරතුරු දැනගැනීමේ අයිතිය හඳුන්වනවා.

අ‍පගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14වන වගන්තියෙන් කියැවෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳවයි. මෙම පරිච්ඡේදය වඩාත් ශක්තිමත් වන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතියක් ලෙස සම්මත වීමෙන් අනතුරුවයි. යහපාලන සමාජයක මූලික ලක්ෂණයක් වන්නේ ආණ්ඩුවේ ඇති විනිවිදභාවයයි. ජනතාවට වගකියන ආණ්ඩුවකට ජනතාවගෙන් සැඟවිය යුතු තොරතුරු තිබිය නොහැකිය.