ජී.එස්.පී. තීරුබදු සහනය නැවතත් ශ්‍රී ලංකාවට ලබාදීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කරයි. ඊට අදාළ නියෝගයට ජනාධිපති බැරැක් ඔබාමා මහතා අත්සන් තැබූ බව අමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. අමෙරිකාව විදේශයන් සමඟ සිදුකරන ගනුදෙනුවල දී පවත්වාගෙන යනු ලබන ප්‍රමුඛතා සාමාන්‍යකරණ පද්ධතිය හෙවත් ජී.එස්.පී. රටවල් සහ කලාප 122 ක් සඳහා බලපැවැත්වෙන අතර මීට පෙර ක්‍රියාත්මක වූ අමරිකානු ජී.එස්.පී. තීරුබදු සහනය පසුගිය 2013 වසරේ ජූලි 13 වැනිදා අවසන් විය. එය මේ වසරේ ජූලි 29 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අමෙරිකානු ජනාධිපතිවරයා විසින් නැවත ස්ථාපිත කර තිබේ. භාණ්ඩ 5,000කට ආසන්න සංඛ්‍යාවක් අමෙරිකාවට තීරුබදු රහිතව අපනයනය කළ හැකි මෙම ජී.එස්.පී. තීරුබදු සහනය 2017 වසරේ දෙසැම්බර් 31 දක්වා වලංගු වෙයි. ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන රබර් ටයර්, ප්ලාස්ටික් ඇසුරුම් උපකරණ, රබර් අත්වැසුම්, සක්‍රීය කාබන්, කොහු නිෂ්පාදන සහ පිඟන් භාණ්ඩ වර්ග ආදිය සඳහා මෙම ජී.එස්.පී. සහනය බලපැවැත්වෙයි.