අගෝස්තු 17 වැනි දා පැවැත්වෙන මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීම අද (03) සිට ආරම්භ වේ.

මෙහිදී තැපැල් ඡන්දය සහතික කිරීමේ නිලධාරී කාර්යාලවල ආරක්ෂාව සැපයීම පොලිස් නිලධාරීන් යෙදවීම හේතුවෙන් සියලුම පොලිස් ස්ථානවල සහ අ.පො.ස. (උ/පෙ) විභාග රාජකාරී හේතුවෙන් කලාප සහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාල, ජාතික පාසල්වල තැපැල් ඡන්දය ලකුණු කිරීම අද (03) සිදු කෙරේ.

මීට අමතරව අනිද්දා (5) සහ 6 යන දෙදින තුළ සෙසු තැපැල් ඡන්ද විමසීම් සිදු කෙරේ. සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ තැපැල් ඡන්දය ලකුණු කිරීම ලබන 08 වන දා සිදු කිරීමට නියමිතය.

මෙවර තැපැල් ඡන්දය සඳහා පුද්ගලයින් 567,269 ක් සුදුසුකම් ලබා සිටිති.

තැපැල් ඡන්ද ලකුණු කරන අවස්ථාවන් නිරීක්ෂණය සඳහා එක් සහතික කිරීමේ නිලධාරී කාර්යාලයක් වෙනුවෙන් දේශපාලන පක්ෂයක්, ස්වාධීණ කණ්ඩායමක් වෙනුවෙන් එක් නියෝජිතයකු හා එක් නිරීක්ෂණ ආයතනයක් වෙනුවෙන් එක් නිරීක්ෂකයෙකු බැගින් පත් කළ හැකිය. මෙම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වයට (PAFFREL), මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයට(CMEV), නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරයට (CaFFE)ÂÂ අවසර ලබා දී ඇත.අදාළ සහතික කිරීමේ නිලධාරී කාර්යාලයේ සේවයේ නියුතු කිසිවකු අපේක්ෂකයකු හෝ නිරීක්ෂණ සංවිධානයක් වෙනුවෙන් එම ආයතනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථානයේ නිරීක්ෂණ කටයුතුවල නිරත විය නොහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

එසේම තැපැල් ඡන්දය සලකුනු කිරීම්/තැපැල් ඡන්දය විමසන ස්ථාන හා පරිශ්‍ර ඡායාරූපගත කිරීමල වීඩියෝ ගත කිරීම තහනම් වන අතර එම ස්ථානවලට ඡංගම දූරකතන රැගෙන යාම, භාවිත කිරීම සපුරා තහනම් බව කොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.