මැතිවරණයක දී රාජ්‍ය නායකයා මධ්‍යස්ථව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉතිහාසයේ සාමකාමී සහ නිදහස්ම මැතිවරණ ලෙස මෙවර මැතිවරණය පැවැත්වීමට හැකි වුණා. පසුගිය 17 වනදා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

ජනාධිපතිතුමාගේ සම්පුර්ණ ප්‍රකාශය -

ගෞරවනීය ස්වාමින්වහන්ස, පූජකතුමනි, මවුපියනි, දරුවනි, මිත්‍රවරුනි,

2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්දය පාවිච්චි කිරීම අද පස්වරු 4ට අවසන් වුණා. මේ වන විට මැතිවරණ කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම මම අදහස් කළා මේ අවස්ථාවේ පැවැති මැතිවරණය පිළිබඳ කෙටි ප්‍රකාශයක් කිරීම ඉතාමත්ම සුදුසුයි කියන එක.

මා දන්නා පරිදි 1947 සිට මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමේ ඉතිහාසය ගත් විට අද පැවැති මැතිවරණය තමයි ඉතිහාසයේ ඉතාමත්ම සාමකාමී මැතිවරණය. මම හිතන්නේ එය අවිවාදාත්මකයි. මම ජනාධිපතිවරයා වශයෙන් පත්වී ගෙවී ගිය මාස 06 ක කාලය තුළ මේ රටේ කරන ලද වෙනස්කම්ල පරිවර්තනයන් තුළ ඇති වූ යහපාලනයේ පුළුල් ප්‍රතිඵලයක් ලෙස මේ මැතිවරණය මේ ආකාරයෙන් සාමකාමී තත්ත්වයක පැවතුනයි කියන එකයි මම විශ්වාස කරන්නේ.

පසුගිය ජනවාරි 8 වෙනිදා මා ඉදිරිපත් වූ මැතිවරණයේ දී මැතිවරණයට පෙර තත්ත්වයත් මැතිවරණ දිනයත් හා සංසන්දනය කළ විට බොහෝ වෙනස්කම් තිබෙන බව ඔබ දන්නවා. ජනවාරි 08 දා පැවැති මැතිවරණයේ දී පැල්මඩුල්ල රැස්වීමේ දී මට එල්ල වූ ප්‍රහාරය, ඒවගේම බද්දේගම ප්‍රදේශයේ වේදිකා ගිනිතැබීම්, පොළොන්නරු ප්‍රදේශයේ ඇති වූ වෙඩි තැබීම් ඒ වගේම නිවිතිගල ප්‍රදේශයේ ඇතිවූ මිනිමැරුම් සහ දිවයිනේ වෙනත් ප්‍රදේශවල ඉතා බරපතළ සිද්ධින් රාශියක් සිදු වුණා.

ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කිරීම, රාජ්‍ය දේපළ, රාජ්‍ය මාධ්‍ය දැඩි ලෙස පරිහරණය කරමින් ජනවාරි 08 වනදා මැතිවරණයේ දී පැවැති රජය කි‍්‍රයා කළ ආකාරය මේ රටේ ජනතාවගේ මතකයේ තිබෙනවා.

නමුත් මේ මැතිවරණය ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ මැතිවරණයක් කියන එක ඔබ දන්නවා. ඒ නිසා මම ඉතාමත් සතුටු වෙනවා මෙවැනි සාමකාමී මැතිවරණයක් මම ජනාධිපතිවරයා වශයෙන් සිටින අවස්ථාවක ඉතිහාසයේ පළමුවෙනි වතාවට පැවැත්වීමට ලැබීම පිළිබඳ. මේ තුළ අප උගතයුතු ප්‍රධානම පාඩම විදිහට මම දකින්නේ රාජ්‍ය නායකයා සිය මැතිවරණ ව්‍යාපාරයකින් තොරව මධ්‍යස්ථව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් තමයි මෙවැනි සාමකාමී මැතිවරණයකට ප්‍රධාන වශයෙන්ම හේතුවෙලා තිබෙන්නේ.

සිය දේශපාලන බලය දැඩි ලෙස පොලිසිය හරහා රාජ්‍ය නිළධාරින් හරහා මැතිවරණයක දී පාවිච්චි කිරීම තුළ සාමකාමී, නිදහස් සහ යුක්ති සහගත මැතිවරණයක් පැවැත්වෙන්නේ නැහැ. ඒ නිසයි අපේ මැතිවරණ ඉතිහාසයේ බොහෝ කළු පැල්ලම් ඇති වුණේ. මෙවර මැතිවරණයේ දී මම ජනාධිපති බලතල පාවිච්චි නොකර විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රමුඛ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් කිරීමට විධායක බලතල පාවිච්චි නොකර ගෙන ගිය ප්‍රතිපත්තිය තුළ මැතිවරණ කොමසාරිස්තුමා ප්‍රමුඛ එතුමාගේ නිළධාරින්ටත්, ඒ වගේම පොලිස්පතිතුමා ඇතුළු පොලිසියේ සියලු නිළධාරින්ටත් නාමයෝජනා දුන් දිනයේ සිට මේ දක්වා මැතිවරණ රාජකාරී කළ ඒ සෑම කෙනකුටම සිය රාජකාරියේ දී තමන්ට ඇති බලතලවල අභිමතය පරිදි නීත්‍යනුකූලව නිදහසේ සිදු කිරීමට අවස්ථාව ලැබුණා.

ඒ නිසා මේ ඓතිහාසික අවස්ථාව පිළිබඳ අපි කවුරුත් සතුටු වෙන්න ඕන. මැතිවරණ කොමසාරිස් ඇතුළු එතුමාගේ සියලු නිළධාරින් තේරිම් භාර නිළධාරින්, ඡන්ද මධ්‍යස්ථාන භාර නිළධාරින්, ගණන් කිරීමේ නිළධාරින් මේ කටයුතුවලට සියලු ආකාරයෙන් අනුග්‍රහය දැක්වූ සම්බන්ධ වූ සියලු රාජ්‍ය නිළධාරි මහත්ම මහත්මීන්ටත්, ඒවගේම පොලිස්පතිතුමා ඇතුළු එතුමාගේ කාර්ය මණ්ඩලවලටත්, යුද හමුදා ප්‍රධානි ඇතුළු ආරක්ෂක අංශවල ඒ සෑම කෙනකුටමත් මම මගේ සම්පූර්ණ ගෞරවය හා ස්තූතිය පිරිනමනවා. විශාල කැපකිරීමකින්, උනන්දුවකින් සහ ඕනෑකමකින් මෙවැනි නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ඒ සෑම කෙනෙක්ගේම තිබු දැඩි කැපවීම පිළිබඳ.

ඒ වගේම විදේශීය නිරික්ෂකයන් රාශියක් පසුගිය දිනවල අපේ දිවයිනට පැමිණියා. ඒ විදේශීය නිරික්ෂකයන්ට දැක ගන්නට ලැබුණා ලංකා ඉතිහාසයේ ගෙවී ගිය දශක කිහිපය තුළ පැවැති සාමකාමීම මැතිවරණය මේ මැතිවරණය කියලා. ඒ නිසා විදේශීය නිරික්ෂකයන්ටත් මම ස්තූතිවන්ත වෙනවා අපේ රටට පැමිණිලා දැක්වූ සහයෝගය සම්බන්ධයෙන්.

අවසාන වශයෙන් මේ මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව හෙට සහ අනිද්දා දිනවල දී පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොරව දේශපාලන පක්ෂ භේදයකින් තොරව ඉතාමත්ම සාමකාමී ලෙස මැතිවරණ ප්‍රතිඵල භුකිති විඳින ලෙස මම මේ රටේ ආදරණීය ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිදු ආකාරයෙන් සිදු නොවන ලෙස හැසිරීම තමයි අපිට ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් විශාල ගෞරවයක් ලැබෙන්නේ.

ඒ නිසා ඡන්ද විමසීමේ සිට ගණන් කිරීමේ කටයුතු දක්වා මේ පැමිණි ගමන් මගේ ඒ ගෞරවනීය ස්වභාවය විශේෂයෙන්ම යහපාලනයක් තුළ මේ පෙන්නුම් කරන ලද ප්‍රතිඵලය මැතිවරණ ප්‍රතිඵලවලින් පසුවත් ඉතාම සාමකාමීව භුක්ති විඳින ලෙස ආදරණිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජයග්‍රහණය කරන කණ්ඩායම් පරාජයට පත් වූ පිරිසට කිසිම ආකාරයෙන් හිංසාවක් නොකර කායික හෝ මානසික පීඩාවන් ඇති කරන්නේ නැතිව ඉතාමත් සාමකාමී ලෙස සියලු දෙනාම මැතිවරණ ප්‍රතිඵලයේ ජයග්‍රහණය භුක්ති විඳින ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ඔබ සියලු දෙනාටම ස්තූතියි