ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 11 වැනි අගමැතිවරයා ලෙස අද (21දා) දිවුරුම් දීමට නියමිත රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරට පත්වන්නේ ලෝක වාර්තාවක් සම කරමිනි.

අගමැති තනතුර සිවුවැනි වරටත් හොබවන රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කර මනාප ඡන්ද 500,566 ක් ලබාගත් අතර එය ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව වේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා 1993 මැයි 07 වැනිදා සිට 1994 අගෝස්තු 14 වැනිදා දක්වාත්, 2001 දෙසැම්බර් 09 සිට 2004 අප්‍රේල් 06 වැනිදා දක්වාත්, 2015 ජනවාරි 09 වැනිදා සිට මේ දක්වාත් අගමැති ධුරයේ කටයුතු කර තිබේ.

1977 ජූලි මස 21 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් එවකට ළාබාලම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට තේරීපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා මේ දක්වා අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ එකම පුද්ගලයාද වේ.