ගරු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (10) සිය ධුරයේ වැඩ භාර ගනු ලැබීය. පෙ.ව 11 ට යෙදුණු සුභ නැකතින් සෙත්පිරිත් හඬ මධ්‍යයේ සිය රාජකාරී ලිපියේ අත්සන් කළ අමාත්‍යවරයා අනතුරුව මහා සංඝරත්නය විෂයෙහි දානය පිළිගන්වනු ලැබීය. අනතුරුව උත්සව සභාවට පිවිසුණු අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම් ඩබ්.එම්. වජිර නාරම්පනාව මහතාගේ පිළිගැනීමේ කතාවෙන් පසුව පැමිණි සිටි පිරිස ඇමතුවේය. මේ ඒ මහතා මෙම ධුරයේ වැඩ භාරගත් දෙවන අවස්ථාවයි.


මෙම අවස්ථාවට පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, සමාජ සවිබල ගැන්වීම හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, යන මහත්වරුන් සහ අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව මහතා ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන්, මෙන්ම අමාත්‍යාංශ අනුබද්ධ ආයතනවල කාර්ය මණ්ඩල නිළධාරීන්, කලාකරුවන්, සුභපතන්නන් ඇතුළු තවත් විශාල පිරිසක් එක්ව සිටියහ.