ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් 2010 පදනම් වර්ෂය කරගනිමින් 2015 වසරේ දෙවන කාර්තුව සඳහා ගණනය කරන ලද දළ දේශීය නිෂ්පාදිතය හා එයට සම්බන්ධ ආර්ථීක දර්ශකයන් ප්‍රකාශයට පත් කිරීම, සහ ජාතික ගිණුම් ගණනය කිරීමේ නව ක්‍රමවේදයන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරිම එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සිදුවිය. 

2007 වසරේ සිට මේ දක්වා මෙරට ජාතික ගිණුම් ගණනය කිරීම සඳහා පදනම් වර්ෂය ලෙස භාවිත කරනු ලැබුවේ 2002 වසරයි. මෙම වසරේ දෙවන කාර්තුවේ සිට එම පදනම් වර්ෂය 2010 වසර ලෙස යාවත්කාලීන කර තිබේ. එසේම ජාත්‍යන්තර නිර්දේශ අනුව ජාතික ගිණුම් ගණනය කිරීමේ ක්‍රමවේදයේ සිදු වූ සංකල්පිත වෙනස්කම්, එම ක්‍රමවේදයේ වැඩිදියුණු කිරීම් හා ආර්ථීක තොරතුරු විශ්ලේෂණය සඳහා යොදාගන්නා නවීන දත්ත වර්ගීකරණයන් පිළිබඳවද මෙහිදී මාධ්‍යවේදීන් දැනුවත් කරනු ලැබීය.

නිෂ්පාදක මිල දර්ශකය නම් වූ නව මිල දර්ශකයක් හඳුන්වාදීමද මෙම අවස්ථාවේදී සිදුවිය. එය මෙරට ආර්ථීක ප්‍රතිපත්ති සැලසුම් කිරීමට මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි උද්ධමනය පිළිබඳ විශ්ලේෂණ සකස් කිරීමටත් ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමටද උපයෝගී කර ගත හැකිය. සියලූම දේශීය නිෂ්පාදකයන් ආවරණය වන පරිදි ගණනය කරන මෙම මිල දර්ශකය සඳහා පදනම් වන්නේ 2013 වසරේ 4වන කාර්තුවයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2015 වසරේ දෙවන කාර්තුව ගණනය කරන ලද ජාතික ගිණුම් පිළිබඳ විස්තරාත්මක තොරතුරු එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් (www.statistics.gov.lk) ලබා ගත හැක. එසේම 0112147072 සහ 0112147416 යන දුරකතන අංක ඔස්සේද මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැක.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජේ. සතරසිංහ මහතා, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.ඩබ්.එම්.ඒ.එස්. ප්‍රේමකුමාර මහතා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිළධාරීහූ රැසක් මෙම අවස්ථාවට එක් සිටියහ.