දිගු කලක් පැවති ජනවාර්ගික දුක් ගැනවිලි වලට තිරසාර විසඳුමක් ලබා ගැනීමට, සංහිඳියාව වර්ධනය කොට ප‍්‍රශස්ත මට්ටමින් ඉදිරියට පවත්වා ගෙන යාමට සහ සංවර්ධනය සැමට සමාන ලෙස ලබාදීම වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහාය සැපයීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහතික වී ඇති බව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත සුබිනේ නන්දි මහතා පැවසුවේය.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ, අඟහරුවාදා (15) පස්වරුවේ ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවක් අතරතුරය.

ලබන සැප්තැම්බර් 30 වනදා නිව්යෝර්ක් නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසියට තමා සහභාගී වන බව මෙහිදී ජනාධිපතිවරයා සිහිපත් කළ අතර සියලූ අන්තර්ජාතික වගකීම් වලට ශ‍්‍රී ලංකාව අද දක්වන කැපවීම අනාගතයේ දී ද එලෙසම වන බවට සහතික කළේය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ප‍්‍රකාශයට පත් කළ 2014 මානව සංවර්ධන වාර්තාවේ ශ‍්‍රී ලංකා සඳහන ඇතුළත් ප‍්‍රකාශනය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශයට පත් කළ ප‍්‍රකාශන කීපයක් මෙහිදී සුබිනේ නන්දි මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.