ගුණාත්මක ග්‍රන්ථ පාසල් වලට සැපයීමත් පාසල් විෂය නිර්දේශයට ගුණාත්මක ග්‍රන්ථ හඳුන්වා දීමටත් ඉදිරි වසර පහ තුළදී කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කෙළේය.

පාසල්වලට නොමිලේ පොත් ලබාදීම පමණක් සිදු නොකළ යුතු බවත් එම ලබා දෙන පොතෙන් ගුණාත්මකභාවයත් සොයා බැලිය යුතු බවත් කී අගමැතිවරයා නොමිලේ පොත් ලබා දීමේ රාමුව තුළ ශිෂ්‍ය ප්‍රජාවට හරවත් පොත් ලබාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවද කීවේය.

රජවරුන් ගැන ගුණ වර්ණනා කරන පොත් වෙනුවට විශේෂඥයන් ලවා හරබර පොත් ලබාදීමට අප කටයුතු කරන අතර ගුණාත්මක ග්‍රන්ථ වෙනුවෙන් මුදල් වෙන් කිරීමට කිසිදා පසුබට නොවන බවද වික්‍රමසිංහ මහතා පැවසීය.

අධ්‍යාපනයට හා පුස්තකාල වලට ලබන වසරේ සිට වැඩිපුර මුදල් වෙන් කරන බව හෙළි කළ අගමැතිවරයා ඒ වියදම් කරන සෑම මුදලටම සරිලන වටානාකමක්ද ලබා ගැනීමට කටයුතු කරන බවද ප්‍රකාශ කෙළේය.

17 වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අගමැතිවරයා ඊයේ (18) මේ බව ප්‍රකාශ කෙළේය.බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවත්වීමට කටයුතු යොදා ඇත.