ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් පවත්වන ජාතික උත්සවය අද (1 )දා යාපනයේ වීරසිංහම් ශාලාවේ දී පැවැත්වේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සංවිධාන කරන මෙම ජාතික උත්සවය 'ළමා මිතුරු පරිසරයක් ලොව බබළන සොඳුරු දැයක්' තේමාව යටතේ පැවැත්වෙනු ඇත.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර , ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මීහු සහභාගී වෙති.

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් වූ කොඩිය ඇමැතිනිය වෙත පැළැඳවීම මෙම උත්සවයේදී සිදු කරන අතර ජාතික ළමා සභාවේ සාමාජිකයන් විසින් ඉදිරිපත් කරන විශේෂාංග,ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පැවැත්වූ තරගවලින් ජයගත් ළමයින් සදහා ත්‍යාග ප්‍රදානයද මෙහිදී සිදු කෙරෙනු ඇත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරි ද ළමා දින ජාතික උත්සවයට එක්වන අතර මෙම දිනයට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මකක කර තිබේ.

ළමා අපයෝජන අවම කිරීම සම්බන්ධයෙන් මෙම අධිකාරිය පැවැත් වූ පෝස්ටර් තරගාවලියේ සමස්ත ලංකා ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය මෙම ජාතික උත්සවයේ දී සිදුකෙරෙන අතර එදින සවස 3.00-6.00 දක්වා ළමා ආරක්ෂාව පිළිබඳව යාපනයේ දරුවන් දැනුවත් කිරීම ,මනෝ සමාජීය ක්‍රියාකාරකම් සිදු කිරීමට නියමිතය.

මෙයට අමතරව අන්තර්ජාලය හරහට සිදුවන ළමා අපයෝජන අවම කිරීම අරමුණු කරගෙන , තෝරාගත් පාසල් 7000කට දැනුවත් කිරීමේ පෝස්ටර් බෙදාදීම ද ජාත්‍යන්තර ළමා දිනය ‍වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව සංවිධාන කරන වැඩසටහන් අතර වෙයි. මේ සඳහා යුනිසෙෆ් සංවිධානය මුල්‍ය ආධාර සපයන අතර අධ්‍යාපන අමාත්‍යංශය ද මේ වැඩසටහනට සහාය දක්වයි.

ළමා දිනය නිමිත්තෙන් ළමා ආරක්ෂක අධිකාරිය සංවිධාන කරන අන්තර්කරණ අධ්‍යයන හා ළමා ආරක්ෂාව පිළිබඳව සංවාදමය වැඩසටහනක් ද ලබන මස 8දා පැවැත් වෙයි.