ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය තම නිර්මාණ දායකත්වයෙන් පෝෂණය කළ ලේඛක ලේඛිකාවන් අගය කරමින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනමන 2015 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 20දා පස්වරු 3.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ 07, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්වේ.

58 වන වරට පැවැත්වෙන මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ දී 2014 වර්ෂයේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් ලියා පළකරන ලද විශිෂ්ටතම නවකතාව, කෙටිකතා සංග්‍රහය, පද්‍ය සංග්‍රහය, ගී පද මාලා සංග්‍රහය, නාට්‍ය කෘති, යොවුන් සාහිත්‍ය කෘති, ළමා සාහිත්‍ය කෘති, පරිවර්තන කෘති, විද්‍යා ප්‍රබන්ධ කෘති, විවිධ විෂය ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘති සඳහා සම්මාන නියමිතයි.

මීට අමතරව ශ්‍රී ලාංකේය සාහිත්‍යය ක්ෂේත්‍රයට අනූපමේය සේවයක් කළ සිංහල, දමිල හා ඉංග්‍රීසි මාධ්‍ය ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදීහු තිදෙනෙක් ජීවිතයේ එක්වරක් පමණක් ප්‍රදානය කරනු ලබන “සාහිත්‍යරත්න“ ගෞරව සම්මානයෙන් පිදුම් ලබති. එසේම මෙම උත්සව‍යේ දී ප්‍රවීණ සාහිත්‍යවේදීන්ගේ ලිපි ඇතුලත් “සාහිත්‍යය - විශේෂ කලාපය” එළි දැක්වීමටද නියමිතය.

2015 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය මගින් සංවිධානය කරයි.