අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය 2015.11.12 දින පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට රජය විසින් තීරණය කර ඇත.

එම ආදාහන පූජෝත්සවයේ මාධ්‍ය ආවරණ කටයුතු සම්බන්ධව මාධ්‍ය අනුකමිටුවේ සභාපති පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් අද සවස ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විය. අපවත් වී වදාළ අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වීමට නියමිත ලබන 12 ජාතික ශෝක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එදින සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කිරීමට කටයුතු කරන ලෙස රජය ඉල්ලා සිටියි. එදින බස්නාහිර පළාතේ සියළුම පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට ද තීරණය කර තිබේ.
එම මාධ්‍ය සකච්ඡාවට කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, මහාචාර්ය සරත් වීරසූරිය මහතා, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය සහ ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් කේ.ඩබ්.ටී.එන්.අමරතුංග මහත්මිය ඇතුළු මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ.