දශක හතරක් පුරා බොදු ජනතාවගේ අතිශය ගෞරවාදරයට පාත්‍ර වූ මාදුළුවාවේ සෝභිත හිමියෝ අද දැයෙන් සදහටම නික්ම යති. ජාති ආගම් භේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකේය ප්‍රජාවටම එක සේ සංවේගයට පත්ව සිටී.

මාදුළුවාවේ සෝභිත නාහිමියෝ ශ්‍රාවක සිත් ආකර්ෂණය කළ ආධ්‍යාත්මික උපදේශකයෙකු වුහ. පුරා වසර 40කට වැඩි කාලයක් අප නාහිමියෝ නිරවුල් බසින් කළ ධාර්මික දේශනා තවත් බොහෝ කලක් බොදු ජන මනසේ රාව ප්‍රතිරාව නැඟෙනු නිසැකය.

සෝභිත නාහිමියෝ දායක කාරකාදීන් අතර වඩාත් ප්‍රචලිත වූයේ උන්වහන්සේට අනන්‍ය වූ වාග් විලාසය හේතුවෙනි. මේ නිසාම පොදු ජනතාව සෝභිත නාහිමියන්ගේ දහමත්, දේශනයත්, අසන්නට මැලි නොවූහ. සෝභිත නාහිමිගේ දේශනා අසන්නට දහස් ගණන් මිනිසුන් රැස් විය. ධර්මයට අදාළව හෝ රටට බලපාන පොදු කරුණක් වුවද පැහැදිලිව නිරවුල්ව දේශනා කර ශ්‍රාවකයා ආකර්ෂණය කර ගැනීම උන්වහන්සේට අපහසු කරුණක් නොවිය.

කලාතුරකින් පිහිටන මේ සහජ දක්ෂතාවය සංසාරගත පුණ්‍ය මහිමයක වාසනා ගුණයකි. එසේම තමන් වහන්සේ කිසිවෙකුගේ ගත්තෙකු නොවී. කිසිවෙකුටත් යටත් නොවී තම මතය දායකයා හමුවට ගෙන එන්නට තරම් අභීත විය. මේ අභීත සිහනාදය ජනතා සිත් ප්‍රබෝධවත් කළේය.
බුද්ධ දේශනාවට ම අනුගත වූ පරාර්ථචර්යාව උදෙසා කැප වූ අප නාහිමියෝ තම අදහස් ප්‍රකාශ කරන්නටත්, ඒ අනුව ක්‍රියා කිරීමටත් අධිෂ්ඨානශීලී විය. කිසිවෙකුට ඒ නාහිමියෝ අභීත ගමන් මඟ වෙනස් කළ නොහැකි විය. බහු ජනයාගේ හිතසුව පිණිසම නියම බුද්ධ පුත්‍රයෙකු ලෙස තම වෑයම ක්‍රියාත්මක කළහ.

අතීතයේ සිටම ශ්‍රී ලාංකේය භික්ෂුව ජාතියේ හා දේශයේ ආරක්ෂකයෙකි. රාජ්‍ය අනුශාසකයෙකි. නිර්මල බුදු දහම නියෝජනය කරන භික්ෂූන් වහන්සේ බෞද්ධයාගේ ජීවමාන බලවේගයයි.
ඉතිහාසය පුරාම ලක් දෙරණ අර්බුදයට පත්වන සෑම අවස්ථාවකදීම ඊට එරෙහිව දිවි දෙවෙනි කොට පෙරමුණ ගත් සංඝ පීතෘවරයෙකුගේ අධිෂ්ඨාශීලි වීර
චරිත කතාවලින් පෝෂිත ශ්‍රී ලාංකේය ජන පැලපදියම් වූ අභීත යතිවරුන්ගේ නුතන සම්ප්‍රාප්තිය මාදුළුවාවේ සෝභිත නාහිමියන් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. රට දැය සාමය ආරක්ෂා කළ පෙර වැඩ සිටි යතිවරුන් සේම අප නාහිමියෝ යහපත් සමාජයක් ගොඩනඟන්නට තම පැවිදි දිවියම කැප කළහ.
අතිශයින්ම දුර්ලභ වූ භික්ෂුත්වය ලැබ සංඝ ශාසනය ශෝභමාන කළ මෙවන් උප්පත්තින් විරලය. අද දින දැයෙන් සමුගන්නා සෝභිත නාහිමියනි, ඔබ වහන්සේට නිර්වාණාවබෝධය වඩා දුර නොමැති බව මගේ විශ්වාසයයි. ඔබ වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා.

ගයන්ත කරුණාතිලක
ගරු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය