රන්මිහිතැන්න ටෙලි සිනමා උද්‍යානය ලාභදායි ආයතනයක් බවට පත් කොට ටෙලි සිනමා ක්ෂේත්‍රවල නිරත කලාකරුවන්ට සුවිශේෂ මෙහෙවරක් ඉටු කල හැකි මට්ටමට ගෙන ඒමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය පිලිබඳ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදීය.

නිසි ශක්‍යතා අධ්‍යනයකින් තොරව ඉදිකොට ඇති මෙම ආයතනය සංචාරකයින්ට ආකර්ෂණිය ස්ථානයක් බවට පත් කිරීම,දේශිය සංචාරකයින්ට නවාතැන් පහසුකම් ලබා ගත හැකි ස්ථානයක් බවට පත් කිරීම ,භෞතික සංවර්ධන කටයුතු වැඩි දියුණු කිරීම ,අලෙවි ප්‍රවර්ධන සැලැස්මක් ඇති කිරිම ආදී ක්ෂේත්‍ර පිලිබඳව වැඩිදුරටත් කරුණු අධ්‍යයනය කොට එය දියුණු කිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතුව ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැවසිය.

මේ සඳහා විශේෂ කමිටුවක්ද මේ වන විට ඇමතිවරයා විසින් පත් කොට තිබේ.ජ්‍යෙෂ්ඨ සිනමාවේදීන්,මාධ්‍ය ආයතන වල ප්‍රධානීන් ,ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත මෙම කමිටුවේ සාමාජික සාමාජිකාවන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතා මෙහිදී අදහස් දක්වමින් රන්මිහිතැන්න ගොඩනැඟිලිවල වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති බවත් එය වැඩි දියුණු කොට ටෙලි සිනමා කෞතුකාගාරයක් ඉදිකළ හැකි බවත් පැවසීය. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ සිනමාව පිළිබඳ අධ්‍යයනය කරනු ලබන විද්‍යාර්ථයින්ට ඒ පිළිබ`ද අධ්‍යයනය කළ හැකි ස්ථානයක් බවට රන්මිහිතැන්න පත් කිරීම වඩාත් යෝග්‍ය බවයි.

මෙම කමිටුවේ සාමාජිකයින් වන ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන ,සැලසිනේ ආයතනයේ සභාපති තුසිත ජයවර්ධන ,රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති රවී කලංසූරිය ,ප්‍රවීන නිළි ශ්‍රියානි අමරසේන ,රවින්ද්‍ර ගුණසේකර ,දයා අවිරුප්පොළ මහත්ම මහත්මීන් ඇතුළු තවත් කිහිප දෙනෙක්ම මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම කමිටුවේ සාමාජිකයින් කණ්ඩායම ලබන මස 3 හා 4 දෙදින රන්මිහිතැන්න ටෙලි සිනමා උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වී විශේෂ වාර්තාවක් සකස් කිරීමටද මෙහිදී යෝජනා විය.