නිදහස් ශ්‍රී ලංකාවේ 70 වැනි අය වැය (20) අද සවස 2.00ට මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි.
මේ වසරේ ජනවාරි 29 වැනිදා අතුරු අය වැයක් ඉදිරිපත් කළ අතර අද ඉදිරිපත් කරනුයේ සම්මුතිවාදී රජයේ මංගල අය වැය වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේත් නායකත්වයෙන් යුතු සම්මුතිවාදී රජය මේ අය වැය ඉදිරිපත් කිරීමට එකඟව තිබීම ශ්‍රී ලාංකීය ජාතියේ ස්වර්ණමය අවස්ථාවක් ද වේ.
දස ලක්ෂයකට අලුතින් රැකියා ලබාදීම, ග්‍රාමීය ආර්ථිකය නංවාලීම, අදාළ පාර්ශ්වලට දේපොළ අයිතිය ලබාදීම, ජනයාගේ ආදායම් වැඩිකිරීම, ශක්තිමත් මධ්‍යම පන්තියක් බිහි කිරීම යන පංචවිධි ඉලක්ක ජයගන්නා ආකාරය අද අයවැයෙන් යෝජනා කරනු ඇත.
මීට අමතරව කෘෂිකාර්මික අංශයේ, ධීවර අංශයේ, අපනයන අංශයේ, දියුණුවට මඟ, ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවකට, කාර්මික සංවර්ධන කලාප බිහි කිරීමට, රජ්‍ය හා පෞද්ගලික සේවකයින් දිරි ගැන්වීම් සඳහා වූ යම් යම් යෝජනා ද ඉදිරිපත් කිරීමට පියවර ගනු ඇත.
නව බදු යෝජනා රැසක් එළිදැක්වීමට ඉඩ ඇත. වෙළෙඳ හිඟය අඩුකරගෙන විදේශ සංචිත වැඩිකර ගැනීමට රුපියල් බිලියන 1789ක ආදායමකින් රුපියල් බිලියන 3138ක වියදමක් (අය වැය යෝජනා රහිත) කිරීමට යෑමේදී ලබා ගැනිමට සිදුවන රුපියල් බිලියන 1349ක දෙස් විදෙස් ණය පිළිබඳව අය වැයේදී කරුණු දක්වනු ඇත.
වසර 2020 වන විට දැනට තිබෙන සියයට 80 වක්‍ර බදු ප්‍රතිශතය සියයට 60 දක්වා අඩු කිරීඹටත් දැනට තිබෙන සියයට 20 සෘජු බදු ප්‍රතිශතය සියයට 40 දක්වා වැඩි කිරීමටත් අවශ්‍ය පදනම මෙවර අය වැයෙන් ඇති කරන ආකාරය ද රටවැසියෝ බලා සිටිති.
මෙතෙක් කල් භාණ්ඩ ලෙස රජය ජනතාවට ලබා දුන් සහන නිසි ලෙස ප්‍රයෝජනයට නොගැනීමේ තත්ත්වයන් හා යම්යම් අවභාවිතයන් සිදුවීමේ තත්ත්වයන් වැළැක්වීමට විවිධ ආකාරයේ කූපන් ක්‍රම මෙවර හඳුන්වාදීමට කටයුතු කරන බවක් පෙනේ.
අය වැය පිළිබඳ දෙවන වර විවාදය හෙට (21) ආරම්භ වේ. දෙවන වර විවාදයේ ඡන්ද විමසීම දෙසැම්බර් 02දා පස්වරු 5.00ට සිදු කෙරේ.
අයවැය පිළිබඳ දෙවන වර විවාදය සඳහා මෙවර දින 9ක් වෙන් කර ඇත. අය වැය පිළිබඳ තෙවන වර කියවීමේ විවාදය දෙසැම්බර් 3 වැනිදා ආරම්භ වන අතර දින 12ක් එම විවාදය පැවැත්වේ.
මෙවර අය වැය විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 19 දක්වා පුරා දින 24ක් පැවැත්වේ.