ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා 2015 – පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුලුවෙ සමාරම්භක උත්සවය අමතමින් කල කතාව

මා පොදු රාජ්‍ය මණ්ඩලයීය සභාපති ධූරයෙන් ඉවත්ව යන‍ මේ අවස්ථාවේ ඔබ අමතන්නට ලැබීම මට මහත් සතුටකි. මෙම හමුව සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් ද මෙහි විශිෂ්ට නායිකාව වශයෙන් ද අප සලකන එළිසබෙත් මහ රැජිනගේ සහභාගීත්වය පිළිබඳව ද මම අතිශයින් සතුටට පත්වෙමි.

පොදු රාජ්‍ය මණ්ඩල‍යේ ආරම්භක සාමාජික‍යෙකු වන ශ්‍රී ලංකාව පසුගිය වසර කිහිපය පුරා පොදු රාජ්‍ය මණ්ඩලයේ සිදු වූ වර්ධනය පිළිබඳ සතුටට පත්වෙයි.

පොදුරාජ්‍ය මණ්ඩලයේ අනුබලය අපේ සියලු සාමාජික රටවල දේශපාලන හා සමාජ හැසිරීම සඳහා මඟ පෙන්වීමට උපකාරී වී ඇත. මෙහි සාමාජික එකිනෙකා හා බද්ධ වන්නේ අප බෙදා හදා ගන්නා පොදු වටිනාකම් මඟින් මිස ඒ ඒ රටවල බලය හෝ සමෘද්ධිය මත පදනම්ව නොවේ.

පොදුරාජ්‍ය මණ්ඩලයේ මූලික සැලකිල්ල යොමු විය යුත්තේ සාධාරණත්වය තහවුරු වන හා සියල්ලන් ඇතුළත් වන ආකාරයේ වර්ධනයක් අත්පත් කර ගැනීමට බව වසර දෙකකට ඉහත අප ශ්‍රී ලංකාවේ හමුවූ අවස්ථාවේ එකඟ වූවෙමු.

තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික හා අන්තර්ජාතික වශයෙන් තීව්‍ර උත්සාහයක් අවශ්‍ය වන බව ද අපි සඳහන් කළෙමු. එක්සත් ජාතීන්‍ සමඟ වූ අපේ ව්‍යයාමයන්ට අනුකූලතාව දක්වන බව හඟවමින් එක්සත් ජාතීන් ද තිරසාර සංවර්ධන ඉලක්කයන්ට ප්‍රමුඛතාව දී ඇති බව සඳහන් කිරීමට ලැබීම පිළිබඳව මම තවත් සතුටු වෙමි.

සමෘද්ධිමත් හෙටක් සඳහා පදනම තරුණ-තරුණියන් බව අපි හඳුනා‍ ගතිමු. එහෙයින් තරුණ-තරුණියන් සඳහා කැපවීමට මාගම්පුර ප්‍රකාශය සම්මත කර ගනිමින් අපේ තරුණ පරම්පරාව පිළිබඳව අපේ නොවෙනස් සැලකිල්ල දැක්වීමු.

පොදුරාජ්‍ය මණ්ඩලයීය තරුණ සභාවේ ස්ථාපනය අප සාදරයෙන් පිළිගන්නා අතර එහි ප්‍රථම සභාව ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳ අප තුළ ඇත්තේ ඉමහත් සතුටකි.

පොදු රාජ්‍ය මණ්ඩලය බිලියන දෙකකට අධික ජනතාවකගේ නිවසයි. එයින් බහුතරයක් සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වන අතර සංවර්ධිත රටවල ජීවත් වන්නේ අතළොස්සකි. අපේ කෙටිකාලීන ඉලක්කය, මධ්‍යම කාලීන ඉලක්කය මෙන්ම දීර්ඝ කාලීන ඉලක්කය ද විය යුත්තේ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමයි.

රැකියා උත්පාදනයේ, දරිද්‍රතාව පහත හෙළීමේ හා ආර්ථික සමෘද්ධිය ඉහළ දැමීමේ ලා වෙළෙඳාම හා ආයෝජනය වැදගත් භූමිකාවක් ඉටු කරන බව අපි දනිමු. අපේ රටවල අමුද්‍රව්‍ය විකිණීම වෙනුවට ඇගයුම් එක් කිරීමේ කර්මාන්ත සඳහා උපකාර කිරීම පිළිබඳ වැඩි අවධානය යොමු විය යුතුය.

කොළඹ පැවැති සමුළුවේ දී අප නිකුත් කළ කෝට්ටේ ප්‍රකාශනය පොදු රාජ්‍ය මණ්ඩලයීය ආයෝජන ගලා යාම හා පෞද්ගලික අංශයේ බැඳීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ අපගේ කැපවීම නැවත සිහිගැන්වූවකි. මෙය අපගේ සංවර්ධනය වෙමින් පවතින මිත්‍ර රටවල් හා ඔවුන්ගේ ආර්ථිකයන් විසින් ඉල්ලා සිටින්නකි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉවත්ව යන රට ලෙස අප ආපසු හැරී බලන විට පසුගිය වසර දෙක තුළ අප විසින් ඉටු කරනු ලැබූ කාර්යයන් පිළිබඳ අපි තෘප්තිමත්ය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මා දැරූ ධූර කාලය තුළ මා හට සහයෝගය ලබා දුන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නායකයින් සියල්ලන්ට මම ස්තුතිවන්ත වෙමි.

පොදුරාජ්‍ය මණ්ඩලය‍ටත්, පෞද්ගලික වශයෙන් මටත්, මගේ රජයට හා ශ්‍රී ලංකා වැසියන්ටත් මහලේකම් ගරු කමලේෂ් ෂර්මා මැතිතුමා දක්වන ලද සහයෝගයට මම කෘතඥපූර්වක වෙමි.

අවසාන වශයෙන් අපේ සත්කාරක රට හා එළඹෙන වසර දෙක තුළ මෙහි සභාපති ධූරය දරන මෝල්ටා රාජ්‍යයට මම සුබ පතමි. එමෙන්ම එහි ගරු අගමැතිතුමාටත්, මෝල්ටා ජනතාවටත් මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමන අතර මෙම සමුළුව පැවැත්වීමෙහිලා ඔවුන්ගේ උත්කෘෂ්ඨ සංවිධාන කටයුතු සඳහා ස්තුතිය පිරිනමමි.