ජාත්‍යන්තර කඳුකර දිනය (International Mountain Day) දෙසැම්බර් 11 වැනිදා වාර්ෂික ව සමරනු ලබයි. ජීවිතයට කඳුකරය කෙතරම් වැදගත් වන්නේදැයි පෙන්වා දීමට හා කඳුකර ප්‍රදේශ ආරක්ෂා කිරීමටත් සංවර්ධනය තුළින් විවිධ ප්‍රතිලාභ අත්පත් කරගැනීමටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර කඳුකර දිනය නම් කර ඇත.

පෘථිවියේ පවතින භූගත ජලය හා ගංගාවල ජල උල්පත් සඳහා මනා රැකවරණයක්‌ ලබාදෙමින් මිනිස් ජීවිතයේ පැවැත්ම උදෙසා කඳුකරය මනා පිටුවහලකි.

'කඳුකරයේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම' ('Promoting mountain products') මෙම වසරේ ලෝක කඳුකර දිනයේ තේමාව යි. ගෝලීයකරණය වීම මගින් ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර මට්ටමේ වෙළඳපොළ තුළ කෝපි, කොකෝවා, මී පැණි, ඖෂධ පැළෑටි, කුළු බඩු සහ හස්ත කර්මාන්ත වැනි උසස් තත්ත්වයේ කඳු නිෂ්පාදන අලෙවි කිරීම සඳහා කඳු නිෂ්පාදකයින්ට අවස්ථා සපයා දී ඇත.

පවුලේ වගාව ප්‍රමුඛ කඳුකරයේ කෘෂිකර්මය පිළිබඳ දැනුවත් කිරීමටත් එම කඳුකර නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳ පොළ තුළ ප්‍රවර්ධනය කිරීමටත් මෙවර තේමාව අවස්ථාවක් වන අතර ඒ තුළින් සියවස් ගණනාවකට තිරසාර සංවර්ධනයක් සඳහා යොමු වීමට ලෝක වාසීන්ට හැකියාව ලැබේ.

ජාත්‍යන්තර කඳුකර දිනය සැමරීම සඳහා‌ ලෝකයේ විවිධ සංවිධාන කඳු මූලික කර ගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවනු දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ ද කඳුකරය සඳහා ම නිර්මාණය වූ “ප්‍රභව සංවිධානය“ ජාත්‍යන්තර කඳුකර දිනයට සමගාමී ව 2010 වසරේ සිට ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ කන්ද තරණය කිරීම නොකඩවා ම සිදු කරනු ලබයි. මෙවර ද ප්‍රභව සංවිධානය හා ස්වේච්ඡා කණ්ඩායම් හා එක්ව හපුතලේ කන්ද තරණය කර එම කඳු මුදුනේ දී ජාත්‍යන්තර කඳුකර දිනය සමරනු ලැබීය.